මාකඳුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ යෙදුණු තිදෙනකු දැලේ

  👤  3102 readers have read this article !
By mawbima 2019-01-22

කොළඹ - එම්.සී. පෙරේරා

රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට වැඩි වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමඟ තිදෙනකු ඊයේ (22දා) පන්නිපිටිය කලල්ගොඩදී හා නාවල වැලිපාර අසලදී නුගේගොඩ දිසා දූෂණ මර්දන අංශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබූ මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් පන්සිය දහනවයක් හා යතුරුපැදියක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

නුගේගොඩ දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් කොස්තාපල් බස්නායක (38666) නිලධාරියාට ලද රහසිගත තොරතුරක් අනුව පන්නිපිටිය කලල්ගොඩ රණවක වත්තේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 58ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු මත්කුඩු ග්‍රෑම් 128ක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. එම පුද්ගලයන් දෙදෙනාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 332ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු නාවල වැලිපාරේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට පත් පුද්ගලයන් තිදෙනා මාකඳුරේ මධුෂ් නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ සාමාජිකයන් බවට මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස් අධිකාරි සමන් සිගේරා, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත නුගේගොඩ දිසා දූෂණ මර්දන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති සැරයන් බී.ආර්.එස්. බස්නායක (58064), පොලිස් කොස්තාපල් ජනක බස්නායක (38666), නලින්ද (10350), තාරක (81655), හර්ෂන් (89138), කාන්තා පොලිස් කොස්තාපල් අනුෂා (9006) මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon