ආණ්ඩුව රට බෙදනවා කියලා ඝෝෂා කළාට ව්‍යවස්ථාවක් තියා තවම කෙටුම්පතක්වත් හදලා නෑ

  👤  3154 readers have read this article !
By mawbima 2019-01-22

ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කොට නොමැති අවස්ථාවක ඇතැමුන් රට බෙදනවා. රට කැඩෙනවා කියා කෑගසනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා ගාල්ල යක්කලමුල්ලේදී පැවැසීය.


යක්කලමුල්ල කරාගොඩ ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ දෙමහල් භික්ෂු නේවාසිකාගාරය, දහම්පාසල් ගොඩනැඟිල්ල හා දාන ශාලාව සඟසතුකොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා එහිදී මෙසේද කීවේය.

අද උදෑසන මම පුවත්පත්වල දැක්කා මල්වත්තේ මහ නාහිමියන් ව්‍යවස්ථාව ගැන කළ ප්‍රකාශය. අපි එය ගැඹුරින් අධ්‍යයනය කරන්න වුවමනායි. සමහරක් අය කියනවා ව්‍යවස්ථාවක් ගෙනාවා රට කැඩෙනවා. රට බෙදනවා. රට නැති වෙනවා කියලා. මේ නිසා මහ නාහිමියන්ගේ ප්‍රකාශය ඉතා වැදගත්.

අපි මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා ව්‍යවස්ථාදායක සභාව අරගෙන හැම පක්ෂයම නියෝජනය වන මෙහෙයුම් කමිටුවක් දමලා තියෙනවා. මම ඒකේ සභාපති. අපට තියෙන්නේ එතැනදී හැම අයකුගේම අදහස් ලබා ගන්න. අදහස් ලබාගත් පසු අන්තර් වාර්තාවක් අපි ලීවා. එය දින පහක් හයක් පාර්ලිමේන්තුවේ වාද විවාද කළා. ආපසු අදහස් ආවා. ඒ පිළිබඳ වාර්තා කිහිපයක් ඇවිත් ආපසු සකස් කළා.

විශේෂඥයන් කීවා වාර්තාවක් හදන්න කියලා. සමහරක් ඒවාට එකඟ වෙන්න බැරිව විකල්ප වාර්තාවක්ද සකස් කළා. පසුව හැම දේශපාලන පක්ෂයකින්ම අදහස් විමසුවා. තව වාර්තාවක් දුන්නා. මහ ඇමැතිවරු තව වාර්තාවක් දුන්නා. ඊළඟට ව්‍යවස්ථාදායක සභාවේ විවාදයේ හැම සාමාජිකයකුගේම කතාව සාරාංශ කරලා ඒ විෂයයන් මේ විෂයයන් ගැන කතා කළා කියලා කිව්වා. ඕනෑම කෙනකුට ඒවා අරගෙන කියවන්න පුළුවන්. අපේ යුතුකම තියෙන්නේ ලැබෙන හැම වාර්තාවක්ම සභාවට ඉදිරිපත් කිරීම. දැන් ඒවා වෙබ් අඩවිවල තියෙනවා. ඒක කියවන්න. එච්චරයි කරලා තියෙන්නෙ. වෙන මුකුත් කරලා නැහැ.

ඒවා දිහා බලලා අපි දැන් කෙටුම්පතක් ගේනවා නම් අපට ව්‍යවස්ථාදායක සභාවේ තුනෙන් දෙකක සහයෝගය තියෙන්න ඕන. ඒක තියෙනවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක පක්ෂ නායකයන් තීරණය කළ යුතු වෙනවා. තීරණය කරලා තුනෙන් දෙකක් තියෙනවා කියලා කීවොත් අපි එය සකස් කරනවා. තුනෙන් දෙකක් නැහැ කිව්වොත් සකස් නොකර ඉන්න පුළුවන්. ඒවා ගැන විවිධ අදහස් තියෙනවා. ඒ නිසා මෙය විශාල ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ.

ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. එතුමා තෛපොංගල් දිනයේදී දමිළ භාෂාවෙන් කතා කළා. ඒක හොඳයි. සිංහල, දමිළ, මුස්ලිම් අයට එකඟ වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් ගේනවා කිව්වා.

ඩී.එස්. සේනානායක මහතා ඒකීය රාජ්‍යය වෙනස් කරන්නේ නැහැ කිව්වා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 13 වැනි සංශෝධන වෙලාවේදී රජීව් ගාන්ධිගේ අස්සන් ගත්තා ලංකාව ඒකීය රාජ්‍යයක් කියලා. ප්‍රේමදාස, විජේතුංග යන ජනාධිපතිවරු කීවේ ඒකීය රාජ්‍යයක් කියලා. මමත් කියන්නේ ඒකීය රාජ්‍යයක් කියලා. ඒකීය රාජ්‍ය තුළ බලය බෙදීම කරගෙන යන්න. හිටපු ජනාධිපතිතුමාට පුළුවන් නම්, එය ආරම්භ කරන්න මමත් කියන්නේ ඒකීය රාජ්‍යයක් තුළ කරන ඕනෑම දෙයකට අපි සහයෝගය ලබා දෙන්නම් කියලා.

මේ ප්‍රශ්නයට විසඳුම් හොයලා දෙන්න පුළුවන් නම් ඒක හොඳයි. මල්වත්තේ මහ නායක හිමියන්ගේ උපදෙස් අනුව අපි ක්‍රියා කරන්න ඕන.

මාපලගම - රසික සෙනවිරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon