සිංහරාජයේ ගස් කපා වනසනවා යැයි ඇතැම් පරිසර සංවිධාන කරන ප්‍රචාර බොරු - නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම

  👤  953 readers have read this article !
By mawbima 2019-01-17

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

සිංහරාජ වනාන්තරය මධ්‍යයේ මහාමාර්ගයක් ඉදිකිරීම පිණිස වනාන්තරයේ ගස් කපා විනාශ කරනවා යැයි පවසමින් පසුගිය කාලයෙහි ජනමාධ්‍යය මඟින් සහ ඇතැම් පරිසර සංවිධාන ගෙන ගිය ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා පැවැසුවේ සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම් මාර්ගයේ සිට ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශයට ඇතුළුවන පිවිසුම දක්වා ඇති ප්‍රදේශයෙන් වැටී ඇති මහාමාර්ගයේ සුළු සංවර්ධන කටයුත්තක් පමණක් සිදුවන බවත් එසේ සිදුකරන්නේ සංචාරකයන්ගේ පහසුව සඳහා බවත්ය.

වනාන්තරයේ ගස් කපා දැමීම් කිසිවක් සිදු වී නැති බවත් පසුගිය දිනවල ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇත්තේ ස්වාභාවික ව්‍යසනයක් නිසා විනාශයට පත්වූ ගස් කිහිපයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මෙසේද පැවැසීය.

අපි දැක්කා පසුගිය කාලයේ ජනමාධ්‍ය මඟින් ප්‍රකාශ වෙනවා සිංහරාජ වනාන්තරයේ ගස් කපා දමමින් මහාමාර්ගයක් ඉදිකරනවා කියලා.

ඒක අසත්‍යයක්. මොකද මේ ලෝක උරුමයක් වන භූමිය වෙත පිවිසීමට කිලෝමීටර් 1 1/2ක් පමණ තිබෙනවා. සිංහරාජ වනාන්තරයේ පිවිසුම් ‍ෙදාරටුවේ සිට ඒ කොටසත් මේ වනාන්තරයේම කොටසක්. ඉතින් මේ මාර්ගය අවුරුදු 40ක් විතර පරණ මාර්ගයක්. නාය යෑම් නිසාත් ඇතැම් කොටස් විනාශ වෙලා තිබෙනවා. මේ නිසා මෙහි පැමිණෙන සංචාරකයන්ට දුෂ්කරතා පැමිනුණා, සංචාරකයන් විවිධ අනතුරුවලටත් ලක්වී තිබුණා. ඒ නිසයි මේ සුළු අලුත්වැඩියා කිරීමේ කටයුත්ත සිදුවන්නේ.

මේ නිසා මේ වනාන්තරයේ ජෛව විවිධත්වයට කිසිදු හානියක් වන්නේ නැහැ. එය මම වගකීමෙන් කියනවා. මේ සඳහා ආධාර ලබාදෙන්නේ ලෝක බැංකුව විසිනුයි. ඊට ආධාර සහ ණය මුදලකුත් ඇතුළත්. අපි බලාපොරොත්තු වෙනවා සිංහරාජයට පැමිණෙන සංචාරකයන් සහ අධ්‍යයන කරන්නන් හට අවශ්‍ය කරන පහසුකම් ඉදිරියේදී සම්පාදනය කිරීමට. පුස්තකාල සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකද ඊට ඇතුළත්ය.

සිංහරාජ වනාන්තරයට පැමිණෙන සංචාරකයන් නිසා එම වනාන්තරයට මිලියන 7ක ආදායමක් 2017දී ලැබී තිබෙනවා. 2018දී මිලියන 8ක ආදායමක් ලැබී තිබෙනවා. මේ වසරේදී එම සංඛ්‍යාව තවත් වැඩිකරගැනීමට අදාළ නිලධාරීන්ට හැකි වේවි.

අජිත් මාන්නපෙරුම මහතා පසුගියදා සිංහරාජ වනාන්තරයේ විශේෂ
නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව පැවැසීය. මෙම චාරිකාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතරසිංහ මහතාද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon