සොබා දහමට ආදරය කරන සංහිඳියාවේ දවස

  👤  2381 readers have read this article !
By mawbima 2019-01-15

මිනිස් වර්ගයාගේ ජීවනාලිය බඳු ගොවිතැනට ඇවැසි ජලය, ආලෝකය, උෂ්ණත්වය සහ සුළඟ යන සාධක අධිගෘහිත වූ සූර්ය දිව්‍ය රාජයාණන්ට කෘතඥතාව පුදකරනු වස් ලෝකවාසී දෙමළ ජනයා විසින් සමරනු ලබන තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පළකිරීමට ලද අවස්ථාව පිළිබඳ සතුටු වෙමි.

දෙමළ ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම කිවිවරයකු ලෙස සැලකෙන භාරදියාර් 'ගොවිතැනට නමස්කාර කරමු' යනුවෙන් කළ ඓතිහාසික පබැඳුමෙන් දෙමළ ජනයා ගොවිතැන සම්බන්ධයෙන් පළ කරන පූජනීය පිළිගැනීම ප්‍රකට කරයි. ගොවිතැන තම ප්‍රධාන ජීවනෝපාය කරගනිමින්, සොබා දහම හා බද්ධ වූ දිවි පෙවෙතක් ගත කළ ඔවුහු තෛපොංගල් සැමරුම මඟින් සොබාදහමේ

උත්කෘෂ්ට ත්‍යාගශීලීත්වයට තම නමස්කාරය පළ කළහ.

කිරි උතුරන්නාක් මෙන් සියල්ලන්ගේ සිත් තුළ සෙනෙහසත්, පී්‍රතියත් උතුරා ගොස් සංහිඳියාව විකසිත විය යුතුය යන අභිලාෂය පෙරදැරිව දෙමළ ජනයා තම ගොවිතැනෙන් ලද අග්‍රඵලය වූ නැවුම් සහලට නිකැළැල් ක්ෂීරයත්, හකුරුත් මුසු කොට ළිප තබා කිරි උතුරුවති. බහුවිධ ආගම්, ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත් බව රකිනු වස් මේ ආකාරයේ සංස්කෘතික උත්සව බෙහෙවින් ඉවහල් වනු ඇති බව මාගේ අදහසයි.

දුරුතු උදාව ජීවිතයට නව මං විවර වන බව දෙමළ ජනයාගේ විශ්වාසයයි. එම විශ්වාසයන් ඉටුවී ජීවිතයට නව උදාවක් එළැඹෙන පී්‍රතිමත් තෛපොංගල් උත්සවයකට සුබපතන අතර, ස්වභාවධර්මය සහ මිනිස් වර්ගයා අතර වූ ශක්තිමත් බැඳීම ඔප්නංවමින්, ඉහළ සංස්කෘතියේ සහ කලාවේ සාරගර්භ හරයන් කලඑළි දක්වමින් තෛපොංගල් උත්සවය සමරන ලක්වාසී දෙමළ ජනතාවත්, ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවටත් මාගේ හද පිරි ශුභාශිංසන පිරිනමමි.

මෛත්‍රිපාල සිරිසේන
ශ්‍රී ලංකා ජනාධිපති

මානව සමාජයේ සතුට හා සෞභාග්‍යය

සරු අස්වැන්නක් ලබාදීමට ප්‍රමුඛ වූ සූර්ය දිව්‍යරාජයා නමදිමින්, ඒ සඳහා උපකාරී වූ ගවයන් ඇතුළු සමස්ත සොබාදහමට කෘතවේදීත්වය පිරිනමමින් පළමු අස්වනු මංගල්‍යය සැමරීම කෘෂිකාර්මික ජන සමාජවල දුරාතීතයේ සිට පැවත එන ප්‍රමුඛ ආගමික
පිළිවෙතකි.

එබඳු ආගමික පිළිවෙතක් ලෙස දකුණු ඉන්දියාවෙන් ඇරැඹුණු තෛපොංගල් උත්සවය මේ වන විට ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරන ඉතා වැදගත් ආගමික, සංස්කෘතික උළෙලක් බවට පත්ව ඇත.

තෛපොංගල් උත්සවයේ සියලු චාරිත්‍ර වාරිත්‍ර මිනිසා සහ සොබාදහම අතර සහජීවනය අර්ථවත් කරන අතරම මානව සමාජයේ සාමය, සතුට සහ සෞභාග්‍ය අරමුණු කරගනිමින් ඉටුකෙරේ. මෙය දමිළ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවට සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය කියා පාන උත්සව අවස්ථාවකි.

වාර්ගික, ආගමික අන්තවාදී බලවේග පරදවා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ වටපිටාවක මෙවර තෛපොංගල් උත්සවය සමරන්නට ලැබීම සතුටට කරුණකි. විවිධ ජනවර්ගවල ආගමික, සංස්කෘතික උරුමයන්ට ගරු කරමින් එක්සත්ව දිවිගෙවීමේ අගය අවධාරණය කරමින්, තෛපොංගල් උත්සවය සමරන සහෝදර දමිළ ජනතාවට මාගේ හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

නව ගමනක ආරම්භයක්

අද දින තෛපොංගල් සමරන දමිළ ජනතාවට මම සාමය, සතුට පිරි සෞභාග්‍යවත් අනාගතයකට සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි. කෘෂිකාර්මික ජීවිතය හා බැඳුණු ජනයාගේ අස්වනු නෙළන අවස්ථාව සමරනු ලබන මෙම මහෝත්සවය, ගොවියන්ට පමණක් නොව අපි සියලු දෙනාටම සුහදත්වය සහ අනේ‍යා්න්‍ය අවබෝධය උදාකරගත හැකි වැදගත් අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි. මෙම උත්සවයෙන් ලබාදෙන පණිවුඩය ලෝ වාසී සියලු දෙනාටම ඉතාම වැදගත්ය.

ජාති, ආගම් භේද පසෙකලා තෛපොංගල් උත්සවය අපි අපේ ඥාති-හිත මිත්‍රාදීන් සමඟ සාමයෙන් සහ ස්නේහයෙන් යුතුව සමරමු.

හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය තෛ යනුවෙන් හැඳින්වෙන අතර අපගේ මුතුන් මිත්තන්ට අනුව තෛ මාසයේ උදාව නව ගමනක ආරම්භය සටහන් කරයි.

මෙම උත්සවය තුළින් දමිළ ජනතාව එළඹෙන වසර දුක් කම්කටොලුවලින් මිදුණු යහපත් සෞඛ්‍ය සහ සමෘද්ධිය උදා කරන මෙන් ආශීර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සිදුකරති. මෙම තෛපොංගල් දිනයේදී පසුගිය වසරේ අප විශේෂයෙන්

උතුර-නැඟෙනහිර ජනතාව මුහුණ පෑ ස්වාභාවික ව්‍යසනයන්ගේ බලපෑම්වලින් ප්‍රකෘති ස්වභාවයට ජන ජීවිතය පත් කිරීමට එකට එකතු වී කටයුතු කරමු.

මගේ දීර්ඝ දේශපාලන ගමනේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස ඇමැතිවරයෙක් ලෙස අගමැතිවරයෙක් ලෙස ජනාධිපතිවරයෙක් ලෙස මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස මා සැමවිටම රටේ ප්‍රගතිය වෙනුවෙන් ජාති ආගම් භේදවලින් තොරව කටයුතු කර ඇත්තෙමු.

තවද රටේ විපක්ෂ නායක ලෙස රට තුළ එක්සත් සහ සාමකාමී ජීවිතයක් අප සියලු දෙනාටම ගත කිරීමට ඉවහල් වන අප සියලු දෙනාටම එකඟ විය හැකි දේශපාලන විසඳුමක් ලැබෙනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

සමස්ත සමාජයේ සමෘද්ධිය

මිහිපිට පවතින සකල විධ ජීවයෙහි පැවැත්ම පදනම වන්නේ සූර්යයාගේ ශක්තිය මත බවට නූතන විද්‍යාව මඟින් තහවුරු කිරීමට වසර දහස් ගණනකට පෙර නිවැරැදිව අවබෝධ කරගත් පැරන්නන් විසින් හිරු දෙවියන් කෙරෙහි වන්දනාමාන කිරීම සෑම ශිෂ්ටාචාරයකම පොදු ලක්‍ෂණයකි.

සැබැවින්ම සූර්යා මූලික කරගනිමින් සොබාදහම කෙරෙහි කෘතවේදීත්වය දැක්වීමේ මෙම චාරිත්‍රය උසස් මානව ගුණයන් ප්‍රකට කරවන අවස්ථාවකි.

විශේෂයෙන්ම ස්වකීය භවභෝග සම්පත් වර්ධනයට උපකාරී වූ ගව මහේෂාදී සතුන් කෙරෙහිද මෛත්‍රි සහගතව සත්කාර කිරීම වැනි චාරිත්‍ර හින්දු ආගමික දර්ශනය තුළ ගැබ් වූ අතිශය සියුම් මානුෂික ගුණාංග ප්‍රකට කරවයි.
හින්දු ආගමික විශ්වාසයන්ට අනුව සූර්ය ශක්තියෙන් ජනිත වූ සිය භවභෝග සම්පත් නෙළා ගැනීමෙන් අනතුරුව හිරු දෙවියන් උදෙසා පවත්වනු ලබන අසිරිමත් අස්වනු මංගල්‍යය වන තෛපොංගල් යනු වසර දහසකට පමණ පෙර චෝල රාජ්‍ය සමය දක්වා දිවෙන ඓතිහාසික වැදගත්කමකින් යුත් අසිරිමත් සංස්කෘතික උළෙලකි.

තුති පිදීම, පරෝපකාරය, සාමුහිකත්වය, පොදු මහත් සමාජය වෙත සමෘද්ධිය ප්‍රාර්ථනා කිරීම වැනි වැදගත් හරවත් සාරධර්ම රැසක් ඔප්නංවන තෛපොංගල් මඟින් දෙන පණිවුඩය සමස්ත ලෝකයටම සර්ව කාලීනව වැදගත් වේ.

එම වැදගත් සාරධර්ම පද්ධතිය හා සමීප වෙමින් නව අවුරුදු උදාවේ නව ආරම්භයකට සැරසෙන සකල ශ්‍රී ලංකාවාසී සහෘද දමිළ ජනතාවටත්, සමස්ත ලෝකවාසී ජනතාවටත් සියලු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත සමෘද්ධිමත් තෛපොංගල් සැමරුමකට ආසිරි පතමි.

කරු ජයසූරිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක

අපේක්ෂා ජයගන්නට එකමුතු විය යුතු අවස්ථාවක්

හින්දු භක්තික ජනතාව විසින් තමන්ගේ දෛනික ජීවිතයට, වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් ලබාගැනීම සඳහා උත්සවාකාරයෙන් සමරනු ලබන තෛපොංගල් දිනය අදට යෙදී ඇත. හින්දු දින දර්ශනයට අනුව අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ එයිනි. ඇරඹෙන නව වසරේ ජීවිත තුළ නව ආරම්භයක් ප්‍රාර්ථනා කරන, ඒ සඳහා වන අධිෂ්ඨානය සිත්හි අවධාරණය කර ගන්නා ලාංකේය හින්දු බැතිමතුනට අපේ සුබපැතුම් එක්කරනු කැමැත්තෙමු.
වසර 70ක අදූරදර්ශී දේශපාලනයක අවසන් ප්‍රතිඵලය ලෙස සමාජීය වශයෙන් නව ජයග්‍රහණ දුර්ලභ රටක ජීවත් විමට අපට බලකෙරී තිබේ.

එළැඹ ඇති නව වසර, පැරණි අවුරුද්ද පුරා පැවැති ප්‍රශ්නවලම දිගුවක් ලෙස පෙනීයාමටද ඉඩ ඇත. කෙසේ වුවද අලුත් අවුරුද්ද අලුත් බලාපොරොත්තුවක ආරම්භයක් කර ගැනීමටත් පෞද්ගලික ජීවිතයේ මෙතෙක් ජය ගැනීමට නොහැකි වූ අභියෝග ජය ගැනීමටත් සෑම කෙනකු තුළම බලාපොරොත්තු අලුත් කරවයි. එසේම අප පෙළමින් තිබූ සමාජීය ගැටලු ජයග්‍රහණය කිරීමේ නව අවස්ථාවන්ද නව වසර විසින් අප හමුවට රැගෙන පැමිණ තිබේ.

එළැඹි නව වසරේ ගැඹුරින් කල්පනා කර නිවැරදි තීන්දු ගත හැකි නම්, කැපවීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කළ හැකි නම් පෞද්ගලික වශයෙන් මෙන්ම රටක්, සමාජයක් වශයෙන් ජයග්‍රාහී වසරක් කර ගැනීම අසීරු ඉක්කයක් නොවේ. ජනතාවට තමන්ගේ බලය ඍජුව පාවිච්චි කළ හැකි මැතිවරණ වර්ෂයක එළැඹී තෛපොංගල් දිනය, තමන්ගේ ජීවිතත් රටත් සම්ප්‍රදායිකව පැවති ලෙස නොව නව දිශාවකට සවිඥානිකව හැරවීමේ
අධිෂ්ඨානය කැටි කරගන්නා නිමිතිත්තක් බටව පත් කර ගත හැකිය. විශේෂයෙන් ජාතිවාදය පතුරවමින් බලය ඩැහැගැනීම සඳහා දූෂිතයන් විසින්ද රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට කුමන්ත්‍රණකාරීන් විසින්ද ගනිමින් ඇති උත්සාහය පරාජය කිරීමද අප හමුවේ අභියෝග ලෙස පවතී. මේ අනුව ව්‍යවස්ථානුකූල ඒකාධිපති ක්‍රමයක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් වූ පාලන ක්‍රමයක් සකසා ගැනීමේ වගකීමද නව වසරේ අප ඉදිරිපිට පවතී.

සාමානත්වයෙන්, සහෝදරත්වයෙන් හා සමඟියෙන් බැඳුණු ලාංකේය සමාජයක් තහවුරු කරන්නට අසමත් වූ පැවැති හා පවතින අසාර්ථක පාලනයන්ගේ අත්දැකීම් තුළින් හින්දු භක්තික දෙමළ ජනතාවට අලුතින් හිතන්නටත් නව ජීවිතයක් ඇරඹීමටත් 2019 වසරේ උදාවූ තෛපොංගල් දිනය විසින් ලබාදෙනුයේ වටිනා පණිවුඩයකි. මේ අනුව අදින් උදාවන නව වසර තුළදී අලුත් ලෙස හිතන්නට, අලුත් මඟක ගමන් කරන්නට සූදානම් ලාංකේය හින්දු බැතිමතුන්ට අපි ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමු.

අදින් ඇරඹෙන අලුත් අවුරුද්දේ යුක්තිගරුක දේශයක්, සාධාරණ සමාජයක් හා නිවහල් මිනිසෙක් වෙනුවෙන් වන බලාපොරොත්තු ජය ගැනීම සඳහා සංවිධානය වීමටත් එකමුතුව සටන් වැදීමටත් ලාංකේය දෙමළ ජනතාවට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නටද මෙය අවස්ථාවක් කර ගනිමු.

අනුර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ

හිරු දෙවිඳුට
උපහාරයක්

ලෝකවාසී හින්දු බැතිමතුන් හා එක්ව අපේ රටේ හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් හා එකමුතුව තෛපොංගල් උළෙල සමරන අවස්ථාවට මාගේ සුබ පැතුම් එක් කරන්නේ හද පිරි සතුටින් යුතුවය. සමෘද්ධිමත් සෞභාග්‍යයත් උදා කළ හිරු දෙවියන්ට උපහාර පළ කිරීමටත් හේන් ගොවිතැන් සරුකර ගැනීමටත් උපකාර වූ සතා සිවුපාවන් වෙනුවෙන් කළ ගුණ දැක්වීමටත් තෛපොංගල් දින සිදු කරන සිවුශේෂ චාරිත්‍රයකි.

හින්දු බැතිමතුන්ගේ විශ්වාසයට අනුව හිරු දෙවියන් සතුටට පත්වී ලැබූ වසරේ වඩාත් සෞභාග්‍යවත් ජීවිතයකට ආශීර්වාදය නොමඳව ලබා දෙන බව කියැවේ. එසේම කායික මානසික පීඩාවකින් තොරව ජන ජීවිතය පවත්වා ගැනීමට තෛපොංගල් දිනයේ සිදු කරන චාරිත්‍රයන් ඉවහල් කොට ගැනීම හින්දු බැතිමතුන්ගේ අපේක්‍ෂාවයි.

ස්වභාවදහම හා මිනිසා අතර, අනාදිමත් කාලයක පුරා පැවැතියා වූද චිරාත් කාලයක් පවතින්නා වූද අනු ලංගනීය සබඳතාවද පෙන්නුම් කරන වටිනා අවස්ථාවක් ලෙස තෛපොංගල් උළෙල ලෝකවාසී ජනතාවගේ හා ලක්වාසී ජනතාවගේ ප්‍රසාදයට ලක්වේ.

කෘෂිකාර්මික ජීවන රටාවක් තුළින් සමෘද්ධියත් සෞභාග්‍යයත් අපේක්‍ෂා කරන ශ්‍රී ලංකා ජන සමාජයේ තෛපොංගල් උළෙල සමඟ ඇත්තේ දැඩි සමීප බවකි. මකර සංක්‍රාන්තිය දුරුතු මස පළමු දින සූර්ය උදාවත් සමඟ එළැඹි ආශීර්වාදය විඳගනිමින් හින්දු භක්තිකයන් එළැඹෙන වසරේදී සංහිඳියාව හා සාමය ඔද වඩවමින් ජීවය සරුකර ගැනීමට කරන අධිෂ්ඨානය උතුම් තෛපොංගල් දිනයේ වඩ වඩාත් අර්ථවත් වේවායි පතමි.
ජෝන් අමරතුංග

සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය

ජාතික සමඟිය නමැති දිව ඔසුවෙන් පණ පෙවී...

තමන්ට ගොවිතැනින් සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිඳුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම වෙනුවෙන් හින්දු බැතිමතුන් ඇරඹූ බව පුරාවෘත්තයන්හි කියැවෙන තෛපොංගල් උත්සවය අදට (15දා) යෙදී තිබේ.

හින්දු බැතිමතුන්ට තෛපොංගල් දිනයත් සමඟ උදාවන්නේ නව වසරකි. එහෙයින් ඒ නව වසර උදාවත් සමඟ සුබ කටයුතු නව බලාපොරොත්තු සඵල කර ගැනීමට අදිටන් කර ගන්නා ලාංකේය හින්දු බැතිමතුන්ට ප්‍රථම කොටම සුබ නව වසරක් වේවා යැයි අපගේ හද පිරි සුබ පැතුම් එක්කර සිටින්නෙමු.

යුද්ධයක අඳුරු සෙවණැලිවලින් වැසී තිබුණු දේශයක් ඉන් මිදුණු පසු එහි ජනතාව පටු බෙදුම් රේඛා මකා දමා ජාතික සමඟි මාවතේ ගමන් කරමින් සිටියහ. එහෙත් ඒ ජාතික සමඟියට සැමදා අඩ තබන දෙස් - විදෙස් බලවේග තවමත් සිය පවිටු උත්සාහය අත්හැර නැත. යුද්ධයෙන් හෝ ගැටුමින් පෑරුණු උතුරෙත් - දකුණෙත් ජන හදවත් ජාතික සමඟිය නමැති දිව ඔසුවෙන් සුවපත් කරනවා වෙනුවට ඉහත බලවේග කටයුතු කරන්නේ ඒ හදවත්වලට බෙදුම්වාදී හලාහල විස පෙවීමටය.

මේ සියලු කරුණු මැනවින් තේරුම් ගනිමින් ජාතික සමඟියෙන් බැඳී පෙරට යෑමට අදිටන් කර ගන්නා ලෙස සියලු හින්දු බැතිමතුන් වෙතින් ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ නායක, ජාතික නිදහස් පෙරමුණ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon