ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාර්යාලය වසා දමයි

  👤  2312 readers have read this article !
By mawbima 2019-01-13

ජේ.ටී. ද සිල්වා

වසර තුනක් තිස්සේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාර්යාලය 11 වැනිදා සිකුරාදා වසා දමා එහි සේවය කළ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ සේවා ස්ථාන වෙත යවා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම්වරියකගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය මෙම කාර්යාලයෙහි එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ නිලධාරීන් හයදෙනකු, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සිවු දෙනකු සේවය කර ඇති අතර විශේෂඥවරු දස දෙනකු විටින් විට දීමනා ලබමින් සේවය සපයා ඇත. කෞෂල්‍යා ප්‍රේමචන්ද්‍ර, ශිරන්ති රාජපක්ෂ, අස්වින් හෙම්මාතගම, නබීලා රෂාක්, සුස්මිතා දයානන්ද, දිනේෂා සමරරත්න යන අය එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන් වැටුප් සහ දීමනා ලබමින් මෙහි සේවය කර ඇති බව දැනගන්නට ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කර එවන ලද අතිරේක ලේකම්වරිය, නීතිපති දෙපාර්තමේන්තුවෙන් වැටුප් ලබමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන්ද දීමනා ලබාගෙන ඇති බවට වාර්තා වේ.
එම නිලධාරිනිය සඳහා රියැදුරු සමඟ වාහනයක්, ඉන්ධන සහ සේවකයකුද ලබාදී තිබුණු බව වාර්තා වේ.

වසර තුනක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති මෙම කාර්යාලය සඳහා ඉකුත් වසර තුනක කාලය තුළ රුපියල් දෙකෝටියකට අධික මුදලක් වැය කර ඇති බවද වාර්තා වේ.

විශාල මුදලක් වැය කර කාර්ය මණ්ඩලයක් යොදවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙල කිරීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන අවසන් කර කාර්යාලය වසා දමන අවස්ථාව වන විට දේශපාලන නියෝජිතයන් ඉදිරිපත් කළ අන්තර් වාර්තා, විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තා, පළාත්වල මහ ඇමැතිවරු ලබාදුන් වාර්තා, මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ වාර්තා ඇතුළත් පොත් කට්ටලයක් ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වූ අවස්ථාවේ මන්ත්‍රිවරුන් වෙත ලබාදී ඇත.

වසර තුනක් තිස්සේ විශාල මුදලක් වැය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට මෙහෙයුම් කාර්යාලය අපොහොසත් වීම ගැන පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීමේදී මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහට, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනකුම චෝදනා කොට තිබේ.

වසා දමන ලද මෙහෙයුම් කමිටු කාර්යාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා දේශපාලන පක්ෂ, සංවිධාන, විවිධ පුද්ගලයන් ලබා දුන් යෝජනා ඇතුළු වැදගත් රහස්‍ය තොරතුරු තිබෙන බවත් ඒවායේ ආරක්ෂාව පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon