ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවත් රටත් මුළා කළා

  👤  2320 readers have read this article !
By mawbima 2019-01-13

ජේ.ටී. ද සිල්වා, ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් අගමැති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් පත් කළ මෙහෙයුම් කමිටුව අදාළ කෙටුම්පත ඉදිරිපත් නොකොට පාර්ලිමේන්තුවත් රටත් ජනතාවත් මුළා කළ බවට ව්‍යවස්ථා සභාව රැස් වූ අවස්ථාවේ පක්‍ෂ නායකයෝ අගමැතිවරයාට චෝදනා කළහ.

මෙහෙයුම් කමිටුව ව්‍යවස්ථාදායක සභාව වෙත ලබාදුන් පොත් කට්ටලයෙහි විශේෂඥවරුන්, පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සංවිධාන මඟින් ඉදිරිපත් කර ඇති වාර්තා ඇතුළත් කර තිබිණි.

පැය කිහිපයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කළ ව්‍යවස්ථාදායක සභාව දින නියමයක් නොමැතිව කල් තබනු ලැබීය. ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ පොත් කට්ටලයෙහි ඇතුළත් කරුණු අධ්‍යයනය නොකර විවාද කළ නොහැකි බව සඳහන් කළ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ජනතා කැමැත්ත ලබාගත යුතු බව පැවැසීය.

මැතිවරණයේදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඒ ඒ පක්‍ෂවලට තම පක්‍ෂය ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඇතුළත් කළ හැකි බව සඳහන් කළ විපක්‍ෂ නායකවරයා ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ කරුණු අතරට එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා ඉදිරිපත් කර නොමැති බවද පෙන්වා දුන්නේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා තිබෙන අවශ්‍යතාව කෙතරම්ද කියා ව්‍යවස්ථාදායක සභා රැස්වීමට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරු වැඩි පිරිසක් සහභාගි නොවීමෙන් පැහැදිලි වන බවද විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේය. 'නව ව්‍යවස්ථාව සඳහා ජනතාවගේ වරම ලබා ගැනීමට අපි මැතිවරණයකට යමු' යැයි මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහට යෝජනා කළේය.

'මෙහෙයුම් කමිටුවට අවුරුදු තුනක් ගිහිල්ලත් ව්‍යවස්ථා කෙටුම්පතක් හදා ගැනීමට නොහැකි වුණා' යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කළේය.

'මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙල කිරීමට අපොහොසත් වීම හරහා අගමැති රනිල් වික්‍රමසිංහ සිදු කර ඇත්තේ කාලය ගත කිරීම පමණක් යැයිද අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

'ව්‍යවස්ථා මණ්ඩලය සහ මෙහෙයුම් කමිටුව තවදුරටත් පවත්වාගෙන යෑමේ නිරර්ථක ක්‍රියාවක් සිදු කිරීම අත්හිටුවිය යුතු යැයි මන්ත්‍රිවරයා පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙල කර ඉදිරිපත් නොකිරීම ගැන දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්පන්දන්ද නොසතුට පළ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon