මැතිවරණ කොමිසම උසාවි යන්නේ ඡන්ද තියන්න එපා කියලා විතරද?

  👤  2407 readers have read this article !
By mawbima 2019-01-13

රුචිර දිලාන් මධුසංඛ

'මැතිවරණ කොමිසමට ඡන්ද තියන්න එපා කියලා විතරද ශේ‍ර්ෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඡන්ද තියන්න කියලා යන්න බැරිද' යැයි...ශ්‍රී ලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පෙරේදා (11දා) පැවැති දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී නැඟූ චෝදනාවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා නිරුත්තර වී තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හුල්, එන්.ජී. අබේසේකරගේ සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන්, නිත්‍ය නියෝජිතයන් අතර මෙම හමුව පැවැත්විණි.

එහිදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම ගැන විශේෂ අවධානයක් යොමු විය. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පක්ෂ ලේකම්වරුන්ට පවසා ඇත්තේ මැතිවරණ පැවැත්වීම ගැන ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන ලෙසය. එය කොමිෂන් සභාවට ඉතා පහසුවෙන් කිරීමේ ප්‍රතිපාදන පවතින බවට පක්ෂ ලේකම්වරු හා නියෝජිතයෝ පෙන්වා දී තිබේ.

කොමිසම නොව පක්ෂ ලේකම්වරුන් එසේ කරන්නේ නම් උදවු කිරීමට හැකි බව මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත. මෙහිදී දයාසිරි ජයසේකර මහතා දැඩිව පවසා ඇත්තේ ඡන්දය පැවැත්වීමට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගිය කොමිසමට ඡන්දය පැවැත්වීමට ශේ‍ර්ෂ්ඨාධිකරණයට යා නොහැක්කේ මන්ද කියාය. ඒ අවස්ථාවේ රත්නජීවන් හුල් සහ සෙසු සාමාජිකයන් පිරිස දැඩි අපහසුතාවකට පත්ව නිරුත්තරව වී සිටියහ. මේ හමුව සඳහා දයාසිරි ජයසේකර, බැසිල් රාජපක්ෂ, ලසන්ත අලගියවන්න, සාගර කාරියවසම්, නිශ්ශංක නානායක්කාර සහ සුනිල් වටගල යන අයද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon