පළාත් සභා ඡන්දය ඉල්ලා ශේ‍ර්ෂ්ඨාධිකරණයට නොයන්නේ ඇයි?

  👤  2444 readers have read this article !
By mawbima 2019-01-13

පළාත් සභා හයක් මේ වන විට විසුරුවා හැර තිබේ. මාර්තු මාසයේ බස්නාහිර පළාත් සභාවද විසුරුවා හැරීමට නියමිතය. ඉනික්බිතිව දකුණු පළාත් සභාව ඇතුළු අනෙකුත් පළාත් සභාවල නිල කාලයද අහෝසි වනු ඇත. එහෙත් පළාත් සභා මැතිවරණ පැවැත්වීම ගැන තවමත් නිශ්චිත පියවරක් ගෙන නැත. දැනට පවතින තත්ත්වය අනුව පෙනීයන්නේ ආණ්ඩුව, විපක්ෂය හා ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එකිනෙකාට ඇඟිලි දික්කරමින් සිටිනවා විනා පළාත් සභා ඡන්ද පැවැත්වීමට කිසිදු සාධනීය පියවරක් නොගන්නා බවය. පළාත් සභා ඡන්ද පැවැත්වීමේ වගකීම ඉටු නොකොට ලෙස්සා යමින් සිටින බව පෙනේ.

ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ 1988 දීය. ඊට බොහෝදුරට පාදක වූයේ ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අතර අස්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුමය. 198 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත ප්‍රකාර පළාත් සභා ඡන්ද විමසීමේ සිදුකර පළාත් සභා නියෝජිතයන් තෝරාපත් කර ගන්නා ලදී. යෝජනා වූ මූලික සිද්ධාන්තය වූයේ බලය බෙදා හැරීමය. එවකට උත්සන්නව පැවැති උතුර නැඟෙනහිර යුද ගැටුම් නිවාරණය උදෙසා සංකල්පීය විසඳුමක් ලෙස පළාත් සභා ක්‍රමය ඇති කරන ලදී.

එය කිසිසේත්ම සාමකාමී සංසිද්ධියක් නොවේ. පළාත් සභා ඇති කිරීමේදී ඊට එරෙහිව ජනතාවාදී බලවේග විශාල වශයෙන් ඉදිරියට ආවේය. අවසානයේ මෙරට පළාත් සභා ක්‍රමය ක්‍රියාවට නඟන ලද්දේ කඳුළින්, ලෙයින්, යකඩින් සහ ගින්දරින් බිහිසුණු මර්දනයක් ක්‍රියාවට නැඟීමෙනි. පළාත් සභා කරළියට ගෙන එමට පාගා දැමූ මරා දමනු ලැබූ තරුණ ජීවිත සංඛ්‍යාව අති විශාලය.

අද වන විට පළාත් සභා ක්‍රමය වසර 30ක් සපුරා තිබේ. තවමත් මධ්‍යම ආණ්ඩුව පළාත් සභාවලට පළාත් සභා පනත යටතේ හිමි බලතල ලබාදීමට සූදානම් නැත. පළාත් සභා වූ කලී මහජන මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් බවට කොතෙකුත් චෝදනා නැඟේ. ඒ කෙසේ වුවද පළාත් සභා ඡන්ද නොපවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ආණ්ඩුවට අයිතියක් නැත. මහජන නියෝජිත ආයතනයක් වූ පළාත් සභාවලට විලංගු දමා මධ්‍යම ආණ්ඩුවේ නිලධාරි පරිපාලනයට පළාත් සභා යටකිරීම ප්‍රජාතන්ත්‍රවාදයට කොහෙත්ම එකඟ නැත.

විසුරුවා හරින ලද පළාත් සභාවල ඡන්දය පැවැත්වීමේ බලය ව්‍යවස්ථානුකූලව පැවරෙනුයේ ස්වාධීන මැතිවරණ කොමිසමටය. කොමිසම කියන්නේ ආණ්ඩුව නියම කරන ඕනෑම මොහොතක පළාත් සභා මැතිවරණ පැවැත්වීමට තමන් සූදානම් බවය. දැනට විසුරුවා ඇති පළාත් සභාවල නිල කාලය අවසන් වූයේ 2017, 2018 වසරවලදී වරින් වරය. පළාත් සභා මැතිවරණ එකවර පැවැත්වීමට හැකි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව පියවර ගත් නමුත් එකී සංශෝධනය සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් එම යෝජනාව සම්මත විය යුතු බවටත් ශේ‍ර්ෂ්ඨාධිකරණය නියම කිරීමත් සමඟ 20 වැනි සංශෝධනය පසෙක තැබිණි.

සියයට සියයක් සමානුපාතික සහ කොට්ඨාස ක්‍රමයට පළාත් සභා ඡන්ද පැවැත්වීමට නම් පළාත් සභා ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කළ යුතුය. පළාත් සභා ඡන්ද විමසීමේ පනතට අනුව මාස 4කින් සීමා නිර්ණය අවසන් කළ යුතුය.

මැතිවරණ කොමිසම ඒ සඳහා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කමිටුවක් පත්කරන ලදී. එහි ප්‍රධානත්වය ආචාර්ය කේ. තවලිංගම් දරන ලදී. 2017 ඔක්තෝබර්වල කමිටුව පත්කළ අතර 2018 පෙබරවාරිවල අවසන් කිරීමට නියමිත විය. එකී කමිටුවේ අවසන් වාර්තාව නියමිත පරිදි එවකට සිටි පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට භාර දීමද සිදුවිය. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නමුත් එය න්‍යාය පුස්තකයට ඇතුළත් කළේ නැත. මෙහිදී ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි වීමට වගකිවයුතු වන්නේ කථානායක සහ සභානායක බව පෙන්වා දීමෙන් අනතුරුව 2018 අගෝස්තුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් එකම ඡන්දයක්වත් නොලැබ ප්‍රතික්ෂේප විය. යෝජනාව ඉදිරිපත් කළ පළාත් පාලන ඇමැතිද විරුද්ධව ඡන්දය දුන්නේය.

ඉන් පසුව ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල සමාලෝචන කමිටුවක්ද පත් කරන ලදී. ඒ 2018 අගෝස්තු මස 27 වැනිදාය. සියලුම ජන කොටස් නියෝජනය වන පරිදි පත් කළ එම කමිටුවේ වාර්තාව 2018 ඔක්තෝබර් 28 දීමට නියමිතව තිබිණි. නමුත් 2018 ඔක්තෝබර් 26 ආණ්ඩුව පෙරළුණේය. සමාලෝචන කමිටුව ජනාධිපතිවරයාට දිය යුතු වාර්තාව ඒ වන විට අවසන් කොට තිබී නැත. එම වාර්තාව දී තිබුණා නම් ජනාධිපතිවරයාට පළාත් සභා මැතිවරණය ගැසට් කළ හැකිව තිබුණත් එය එසේ නොවීය.

'අපි දැන් පටු පාරක ගිහින් හරවන්න බැරි ගමනාන්තය හිරවී ච්ඡ්ඒච් ඹ්ර්ණීඛ්ම් තත්ත්වයක සිටින බවය. මේක ගැටයක්. එය කපා දැමීම හෝ ලෙහා දැමීම පාර්ලිමේන්තුවට කළ හැකියි. මැතිවරණ කොමිසමට හෝ ශේ‍ර්ෂ්ඨාධිකරණයට එය කළ හැකිද යන්න දැනට සාකච්ඡා කරමින් සිටිනවා යැයි ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් තිබේ. දින 51 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඔවුන් බලයේ සිටි කාලය තුළ 2017 පළාත් සභා ඡන්ද විමසීමට පෙර තිබූ සමානුපාතික ඡන්ද ක්‍රමය පළාත් සභා සඳහා නැවත ගෙන ඒමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇත. දැන් නැවත අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එය ක්‍රියාත්මක කරනවාද යන්න ගැන නිශ්චිත තීරණයකට පැමිණ නැත. මේ අතර තවත් ඉල්ලීමක් වූයේ කොමිසම ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් උපදේශයක් ඉල්ලා සිටිය යුතු බවය. දැන ගන්නට තිබෙන අන්දමට කොමිසම තවම එවැනි ඉල්ලීමක් කිරීමට තීරණයකට එළැඹී නැත.

පළාත් සභා අකර්මණ්‍ය කර දැමීමත් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමිකිරීමත් පදනම් කර ප්‍රශ්නය ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවට ගෙන යෑමට දේශපාලන පක්‍ෂවලට හැකියාව තිබේ. නමුත් කිසිදු දේශපාලන පක්‍ෂයක් ඒ සඳහා ඉදිරිපත් නොවීම ප්‍රශ්නයකි. ගතයුතු ඉදිරි පියවර මැතිවරණ කොමිසමේ සභාපති විසින් දැනුවත් කර තිබියදීත් ඔවුහු කල් වරමින් සිටීම ද වටහාගත නොහැකිය.

ජනතාවගේ පැත්තෙන් නැඟෙන චෝදනාව පාර්ලිමේන්තුවේ 225 පොදු තීරණයක් ගෙන පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ යෝජනාවක් සම්මත කර ගත යුතු බවය.
මැතිවරණ කොමිසම විසින් සියලුම දේශපාලන පක්ෂවලින් පළාත් මැතිවරණ පැවැත්වීම ගැන කඩිනම් තීරණයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

දේශපාලන පක්ෂවල පොදු එකඟතාවයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් නොකිරීම දැනට ඇති ගැටලුවය.

පළාත් සභා ලංකාවට අවශ්‍ය නොවන බව තීරණය කරනවා නම් එය යෝජනා සම්මතයෙන් ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි. ඒ සම්බන්ධව අවශ්‍ය නම් ජනමත විචාරණයකටද යායුතුය. එවැන්නකට නොගොස් මැතිවරණය ව්‍යවස්ථාවේ සටහන්ව තිබියදී එකී අයිතිය ජනතාවට ලබා නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. එකිනෙකාට ඇඟිලි දිගු කරමින් කට්ටි පැනීමෙන් හා හොරගල් ඇහිලීමෙන් අහිමි වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයතියයි.

පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම නිසා උද්ගත වන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා දැක්වූ අදහස් මෙසේය.

සිංහල අවුරුද්ද වන විට පළාත් සභා නවයෙන් අටක් අකර්මණ්‍ය වෙනවා. අවසාන එක උෟව. ඒක සැප්තැම්බරයේ විසුරුවනවා. ජනතාව ස්වකීය නියෝජිතයන් පත්කර තම සේවාවන් ඉටුකර ගැනීමට ඇති අයිතිය නොලැබී යනවා. පොදුජන පෙරමුණේ සභාපති හැටියට මේ සම්බන්ධව මම අධිකරණයට ගියා. එහිදී ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කළේ මැතිවරණය කල් දැමීම නීති විරෝධී බවයි. ආණ්ඩුව තර්ක කළේ සියලුම පළාත් මැතිවරණ එක දිනයක පවත්වන අරමුණින් මෙසේ කල් දැමීමට තීරණය කළ බවයි.

ශේ්‍රෂ්ඨාධිකරණයේ නිගමනය වුණේ පසුවට විසුරුවා හැරෙන පළාත් සභාවල ඡන්ද පැවැත්වීම ඉදිරියට ගත හැකි වුවත් විසුරුවා හැරුණු පළාත්වල ඡන්ද කල් දැමීම නීතියට එකඟ නොවන බවයටයි. ඒකමතික තීන්දුවක් දුන්නේ. රජය ඒ තීරණය පිළිගත්තා. නමුත් එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කූට උපක්‍රමයක් යෙදුවා. එනම් මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බව කීවා මනාප ක්‍රමය තුළින් නොයෙක් දුර්විපාක උද්ගත වන නිසා. පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා බව පවසමින් වැඩපිළිවෙළක් ආරම්භ කළා. නමුත් අවසන් කළේ නැහැ. චේතනාන්විතව කඩාකප්පල් කළා. 2017 ගෙනා පනතේ අරමුණ වුණේ කාන්තා නියෝජනය වැඩි කිරීම. කවුරුත් ඒකට එකඟ වුණා. හැබැයි කමිටු අදියරේදී පිටු 33ක අලුත් සංශෝධන 38ක් එකතු කළා පනතේ හරය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට.

ඒ අනුව සීමා නිර්ණ කමිටුව පත් කළා. ඒකේ වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මා. පනතට අනුව මාසයක් තුළ එය බහුතරයෙන් අනුමත කළ යුතුයි. එය කළේ නැහැ. අවසානයේ ඡන්දය තිබ්බා. ෆයිසර් මුස්තාපා ඡන්දය දුන්නෙත් නැහැ. ව්‍යවස්ථානුකූලව අගමැති කමිටුවක් පත්කර මාස දෙකක් තුළ සමාලෝචන කමිටු වාර්තාව ජනාධිපතිට ඉදිරිපත් කළ යුතුයි. එය කළේ නැහැ. අපි කොමිසම හමුවුණා. මම පෙන්වා දුන්නා. පැරැණි මැතිවරණ ක්‍රමය අහෝසි කළා. නමුත් ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් සම්මත කර නැහැ. ඒ අනුව අර්ථ නිරූපණ ආඥාපනතේ වගන්තිවලට අනුව අලුත් නීතියක් ක්‍රියාත්මක වනතුරු පැවැති නීතිය බලගැන්විය යුතුයි. රික්තයක් පවතින්න බැහැ. කොමිසම පෙර පැවැති නීතියට අනුව ඡන්ද විමසීම් පැවැත්විය යුතුයි. ඒකට සුමන්තිරන්ලා විරුද්ධ වුණා.

පළාත් සභා ඡන්දය දිනාගන්න පාර්ලිමේන්තුවේ සරල සංශෝධනයක් අවශ්‍යයි. අපි එකඟයි සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්න. මතභේදයක් නැහැ. එය ප්‍රමාදයකින් තොරව කළ යුතුයි. දැනට එසේ නොකරන හේතුව රජය දන්නවා. පළාත් සභා ඡන්ද පැවැත්වුවහොත් ඔවුන්ට හිමිවන පරාජය. මැතිවරණ කොමිසමේ සභාපති කියන්නේ පිච් එක හදලා දෙන්න ඒගොල්ලෝ මැච් එක ගහන්න සූදානම් කියලා. පිච් එක හැදීම පාර්ලිමේන්තුවේ වගකීම. එහෙමනම් සරල සංශෝධනය වහාම ගෙනා යුතුයි. අපි සහාය දෙනවා.

ුක්ති පෙරමුණ දරන මතය පිළිබඳව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් දැක්වූ අදහස් මෙසේය.
විවිධ හේතු දක්වමින් පළාත් සභා ඡන්දය කල් දමන්නට එජාප-එජනිස පක්ෂ දෙකම දායක වූ බව රහසක් නෙවෙයි. තමන්ට වාසි සහගත පසුබිමක් නිර්මාණය වනතුරු කඹ ඇදීම මේ පක්ෂ දෙකේම සිරිත බව අපි දන්නවා. දැන් මේ ප්‍රශ්නය විස¼දා ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් තමයි. දැනට ඉදිරිපත් කර තිබෙන පළාත් සභා ඡන්ද කොට්ඨාසය සීමා නිර්ණ වාර්තාව එක්කෝ පිළිගත යුතුයි. නැති නම් එය ප්‍රතික්ෂේප කර පරණ සමානුපාතික ඡන්ද ක්‍රමයට ආපසු යා යුතුයි.

මේ ප්‍රශ්නය සම්බන්ධව නැවත ශේ්‍රෂ්ඨාධිකරණ උපදේශයක් ලබා ගැනීමේ වුවමනාවක් නැහැ. එයින් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්නය විස¼දාගත යුතුයි. දැන් ඒකාබද්ධ විපක්ෂය කියනවා පරණ ක්‍රමය හොඳයි ඒ ක්‍රමයට යා යුතුයි කියලා. නමුත් එදා ජී.ඇල්. පීරිස්ලා කිව්වේ අලුත් මැතිවරණ ක්‍රමය හොඳයි ඒ ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයි කියලයි. අපි කියන්නේ ඡන්දය කල් දාන එක වැරැදියි. මොකක් හරි ක්‍රමයකට ඡන්දය තියන්න අවශ්‍යයි. ඡන්දය කල් දැමීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දැමීමක්. ඡන්දය ඉක්මනින් පැවැත්විය යුතුයි. හැමදාමත් කළේ එක එක හේතු දක්වලා ටෙක්නිකල් ප්‍රශ්න දමලා ඡන්ද කල්දැමීම. ඒක වැරැදියි. අලුත් ක්‍රමයේ ගැටලු තිබේ නම් ඒවා විස¼දා ගැනීමට කල්ගත වෙනවා නම් පරණ ක්‍රමයට යන්න පුළුවන්. අපට නැවතත් කියන්න තියෙන්නේ එහෙට මෙහෙට කඹ අදින්නේ නැතිව හරි ස්ථාවරය කියලා පළාත් සභා මැතිවරණ ඉක්මනින් පවත්වන්න.

පළාත් සභා ඡන්ද නොපැවැත්වීම හේතුවෙන් දැනට උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා දැක්වූ අදහස් මෙසේය.
පළාත් සභා ඡන්ද නොපැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කිරීමක්. නමුත් මා දන්නා අන්දමට දැන් පාර්ලිමේන්තුවේ පක්ෂ අතර එකඟතාවක් ඇති වී තිබෙනවා පැරැණි සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට. එවැනි එකඟතාවක් ඇති වී තිබේ නම් පළාත් සභා මැතිවරණ තවත් ප්‍රමාද කරන්න හේතුවක් නැහැ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ පොඩි ඇමෙන්මන්ට් එකක් ගෙනත් මැතිවරණ පවත්වන එකයි තියෙන්නේ.

පළාත් සභා සඳහා අලුත් ඡන්ද විමසීමේ ක්‍රමය රෙකමන් කළත් ඒක අවසන් අවස්ථාවට නොපැමිණ අතරමඟ නැවතුණා. ඒකට නොයෙක් විරෝධතා ආවා. අනෙක් පැත්තෙන් මහජනයා කෑගහනවා පළාත් සභා ඡන්ද ඉක්මනට තියන්න කියලා. මේ ගැන පක්ෂ නායකයෝ ඔක්කොම අවසානෙ තීරණයකට පැමිණ තිබෙනවා පරණ ක්‍රමයට යන්න. දැන් පොඩි ඇමෙන්මන්ට් එකක් ගෙනත් සම්මත කළාම මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා මැතිවරණය පවත්වන්න.

මේ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිට කරන්න දෙයක් නැහැ. ඒ වගේම ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් උපදෙස් ගන්න අවශ්‍යතාවකුත් දැන් නැහැ. දැන් කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවට සංශෝධනයක් ගෙනත් ඒක සම්මත කරලා පළාත් සභා ඡන්ද පවත්වන එකයි. ඒකට පක්ෂ නායකයන් එකඟවී තිබෙනවා. පැරැණි ඡන්ද ක්‍රමය 'රි ප්‍රොඩියුස්' කිරීමක් ඒකෙන් වෙන්නේ. ඒක මේ ඉලෙක්ෂන් එක සඳහා පමණක් කියලා? ගෙනෙයි. හෙට අනිද්දා ඒක කෙරෙයි කියල මම හිතනවා. මොකද ඡන්ද තියන්න වෙන මාර්ගයක් නැහැ. මොකද අලුත් ඡන්ද ක්‍රමයට පොදු එකඟත්වක් නැහැ. පරණ ක්‍රමයට පොදු එකඟත්වයක් ලැබී තිබෙනවා. ඒ අනුව ප්‍රශ්නය විස¼දාගන්න පුළුවනි.

උදේනි සමන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon