ගිනි රකුසගෙ කටේ ඉඳන් බිරියයි දරුවොයි තට්ටු හතරකින් බිමට දාපු පිය සෙනෙහස

  👤  2399 readers have read this article !
By mawbima 2019-01-13

අම්මාගේ සෙනෙහස ගැනද තාත්තාගේ සෙනෙහස ගැනද කාලාන්තරයක් තිස්සේ බොහෝ දේ ලියැවී තිබේ. අම්මාගේ සෙනෙහස ගැන ලියැවුණු නිර්මාණවලටද සාහිත්‍යයටද වඩා තාත්තාගේ සෙනෙහස ගැන ලියැවුණු දේ අඩුය. දරුවන් වෙනුවෙන් අම්මා දෙනෙතින් කඳුළු සලන විට තාත්තා කඳුළු සලන්නේ හදවතිනි. මේ කියන්නට යන්නේ එවන් තාත්තා කෙනකු දරුවන් වෙනුවෙන් කළ අසමසම සටනක හද රිදවන සත්‍ය කතාන්දරයකි.

එදින මහනුවර නගරයට හිරු උදාවී ගතවූයේ හෝරාවක පමණ කාලයකි. සතියේ දිනක මහනුවර නගරය කාර්යබහුල වීම ආරම්භ වූවා පමණි. පාසල් කරා යන දරු දැරියන්ද රාජකාරි සඳහා පැමිණෙන්නන්ගෙන්ද නගරය පිරී යෑමට පටන් ගත්තේය.

නගරයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වුවත් යටිනුවර වීදියේ කාසල් පටුමඟට යාබදව පිහිටා ඇති සිවු මහල් ගොඩනැඟිල්ලක් ගිනි රකුසාගෙන් වෙළා ගත්තේ මහනුවර නගරය භීතියට පත් කරමිනි.
පසුගිය අට වැනි දින පෙරවරු හතට පමණ ඇති වූ ගින්න ගොඩනැඟිල්ලක් විනාශ කරමින් පැතිර යද්දී ඒ තුළින් මතුවූයේ හද කම්පිත කරන මානුෂීය කථාවකි. රුදුරු ගින්නෙන් සිවු මහල් ගොඩනැඟිල්ලේ තුන්වැනි මහල ගිනි ගනිද්දී සිවුවැනි මහලේ රැඳී සිටි රාමන් රාජ්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඉන් පිටතට පැමිණීමට මාර්ගයක් නොවීය. තිබෙන එකම පියගැට පෙළ ගින්න හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.
බණ්ඩාරවෙල පදිංචි තිස් හය හැවිරිදි කාමනාද් රාමන් රාජ් වෘත්තියෙන් රන් භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදන ආයතනයක සේවකයෙකි. සාමාන්‍ය පරිදි ඔහු සිය දරුවන් පාසල සඳහා ගෙන යෑමට සූදානම් වී සිටියදී මෙම නොසිතූ විරූ අත්දැකීමට මුහුණ දුන්නේය.

ගොඩනැඟිල්ලේ ආරම්භ වූ ගින්න බුර බුරා සීග්‍රයෙන් පැතිර ගියේ ප්‍රදේශය කළු දුමින් වසා ගනිමිනි. ප්‍රදේශවාසීන්ද උපකාර සඳහා පැමිණියත් ඔවුන් කිසිවකුට ගොඩනැඟිල්ලට නැඟීමට හැකියාවක් නොමැති විය.
රුදුරු ගින්න තව තවත් ව්‍යාප්ත වීමත් සමඟ රාමන් රාජ් මෙන්ම ඔහුගේ බිරිය හා වයස අවුරුදු අට, අවුරුදු හය හා අවුරුදු තුනයි මාස හයක් වන දරුවන් තිදෙනා ගින්නට කොටුවිය. ජීවිතය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට කළ යුතු දෙයක් නොවීය. ක්‍රමක්‍රමයෙන් ගින්න ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරය කරා ළඟා විය. වයස අවුරුදු තුනහමාරක් වන කුඩා පුතුට හුස්ම ගැනීම අපහසු වන බව දුටු පියා අවසානයේ තීරණය කළේ වෙනත් කළ යුතු දෙයක් නොමැති නිසා සියලු දෙනාම ගොඩනැඟිල්ලෙන් පිටතට පැනිය යුතු බවයි.

ගිනිදැල් අහස උසට යද්දී මහනුවර නගරවාසීන් හා රැස්වූවන් ගින්න මැඬපවත්වා කොටුවී සිටින්නන් බේරා ගැනීමට උත්සාහ කළත් එය අපහසු වන්නේ ළඟාවීමට තිබුණු පියගැටපෙළ ප්‍රදේශය ගින්නෙන් හා දුමින් වැසී ගොස් තිබුණු බැවිනි.

කළ යුතු වෙනත් දෙයක් නොවූ තැන අවසානයේදී පියා සිය දරුවන් සිවු මහල් ගොඩනැඟිල්ලෙන් පහතට විසි කිරීමට තීරණය කළේය. උඩු මහලේ ඔහු හුදකලා වුවත් ඔහුගේ උපකාරය සඳහා දහස් ගණනක් පහත රැඳී සිටියෝය. මුලින්ම කුඩාම දරුවා පිටතට දැමීමට ගියත් දරුවා බිමට වැටීමට ඉඩ ඇතැයි සිතූ පියා ඇඳ ඇතිරිල්ලක් පහතට හෙළුවේය. ප්‍රදේශවාසීන් එය සිවු කොණනින් අල්ලා දරුවා රඳවා ගැනීමට සූදානම් විය. පියා විසින් යළි මෙට්ටයක් ඉහළ සිට පහතට හෙළුවත් එය නිසි පරිදි නොවැටී මඟ රැඳුණි.

කළු දුම් මැද ජනේලය අසලට පැමිණි පියා මුලින් කුඩා පුතු ගොඩනැඟිල්ලෙන් පහතට විසි කළේය. අඩි පනහකට අධික උසින් යුතුව පැමිණෙන දරුවා ඇඳ ඇතිරිල්ලට නොවැටුණත් ඔහු බිමට නොවැටී අල්ලා ගැනීමට නගරයේ තරුණයකු සමත් විය. අනතුරුව සෙසු දරුවන් දෙදෙනාද පියා විසින් ඒ අයුරින් පහතට විසි කරන ලදී. එහිදී එම දරුවන් ඇඳ ඇතිරිල්ලට යොමු කර ගැනීමට සමත් වූ අතර දෙවන වයසේ දරුවාගේ ඇස අසල සුළු තුවාලයක් පමණක් සිදුවිය.

දරුවන් තිදෙනා ගොඩනැඟිල්ලෙන් ඉවතට ගැනීමට සමත්වූ පියාට ඇති අනික් භාරදූර කාර්යය වූයේ සිය බිරිය වන තංගවේලු රාධිකා (32) නිරුපද්‍රිතව ගොඩනැඟිල්ලෙන් ඉවතට ගැනීමයි. සිවු වැනි මහලේ සිට පැනීම අනතුරුදායක වැඩි බැවින් යකඩ කණුවක එල්ලී පහතට පැමිණෙන රාමන් රාජ් පා පහර ගසමින් තුන්වැනි මහලේ ජනේලයක් කඩා ඊට පැමිණීමට උත්සාහ කළේය. නමුත් එය සිදුකිරීමට ඔහුට ප්‍රමාණවත් කාලයක් හිමි වූයේ නැත. ඉහළ මහලේ එල්ලී සිටින බිරිය තුන්වැනි මහලේ යකඩ කණුව කරා පතිත විය. ඇය වැටෙනු දුටු රාමන් රාජ් වහා ඇය අල්ලා ගැනීමට සමත් විය. නමුත් බර සහ වීදුරුවට අත කැපී තිබීම නිසා වැඩි වෙලාවක් රඳවා ගත නොහැකිවීම නිසා ඇය රාමන් රාජ්ගේ ග්‍රහණයෙන් ගිලිහුණේය. තුන්වැනි මහලේ සිට බිමට පතිත වූ ඇයද ආරක්ෂාකාරී අයුරින් අල්ලා ගැනීමට නගරවාසීන් සමත් විය.

ඉතා කෙටි කාලයක් තුළදී සිය දරු පවුල ගොඩනැඟිල්ලෙන් පිටතට ගැනීමට සමත් වූ පියා අනතුරුව කණු මතින් එල්ලී පහතට පැන්නේය. ජීවිත හතරක් රැක ගනිමින් සිටි ප්‍රදේශවාසීහු අවසාන සාමාජිකයා වූ පියාද ආරක්ෂිතව රැක ගැනීමට සමත්වූහ. ඒ වන විටත් සෙසු පිරිස මහනුවර මහ රෝහල කරා පිටත් කර හැරීමට නගරවාසීන් මහනුවර පොලිස් නිලධාරීන් හා කටයුතු කර තිබිණි.

අට හැවිරිදි කාමනාදන් නිසාදන්, හය හැවිරිදි කාමනාදන් සත්‍යජිත් සහ අවුරුදු තුන හමාරක් වයස ඇති කාමනාදන් සහීදියන් යන දරුවන් තිදෙනා අනතුරින් සුළු තුවාල ලැබූ අතර පියා සහ බිරිය ශල්‍යකර්මයකට භාජන කොට තිබේ.

"මගේ ගම බණ්ඩාරවෙල. මම වැඩ කරන්නේ ගිනිගත්තු ගොඩනැඟිල්ලේ. ඉන්න නිවෙසක් නැති නිසයි මේ ගොඩනැඟිල්ලේ නවාතැන් ගත්තේ. දරුවෙක් මහනුවර පාසලකට යනවා. අනිත් දරුවන් මහනුවර පාසලකට දැමීමට උත්සාහ කරනවා. ඒ සඳහායි ඔවුන් බණ්ඩාරවෙල සිට මහනුවරට පැමිණියේ", යනුවෙන් කාමලනාදන් රාමන් රාජ් සිය හඬ අවදි කළේය.

"දරුවන් පහතට හෙළන්න යද්දී කුඩා දරුවා පහතට දමන්න එපා කියලා හඬා වැලපුණා. ඒත් මට කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ. පිච්චිලා මැරෙනවාද නැත්නම් පැනලා හෝ බේරෙනවාද යන්න තීරණය කළ යුතුව තිබුණා. මම අදහන්නේ දෙවියොයි. අපි බේරා ගැනීම සඳහා මහනුවර ජනතාව ජාති ආගම් භේදයක් නොමැතිව දෙවිවරු මෙන් උපකාර කළා. ඔවුන් මගේ දරුවන් ආරක්ෂාකාරීව අල්ලා ගත්තු නිසයි අද ඔවුන් ජීවත් වෙන්නේ. ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට මම ණය ගැතියි."

ජාති ආගම් භේදයෙන් තොරව සියලු දෙනා එක්ව කෙටි කාලයක් තුළදී ජීවිත කිහිපයක් ආරක්ෂා කර ගත් මෙම සිද්ධිය රටට ආදර්ශයක් වනු නොඅනුමානය.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන නිසා ඔවුන්ට නුදුරේදීම රෝහලෙන් පිටත් විය හැකි යැයි මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා මහනුවර මහ රෝහලට පැමිණ සිටි අතර ඔවුන්ට නිවාස ගැටලුවක් පවතින නිසා මෙම ගැටලුව ඇතිවූ බව ඔහු කීවේය.

හදිසියේ මහනුවර ඇතිවූ ගින්න පිළිබඳව මේ වන විට මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වන අතර රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත මේ වන විටත් අදාළ ස්ථානයේ සාම්පල් යොමු කළ බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

මහනුවර - නදීක දයා බණ්ඩාර,
ශිරාන් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon