ගින්නෙන් උපන් සීතල ගැහැනිය විජේවීරගේ පුතුට හමුවුණු දවස!

  👤  2738 readers have read this article !
By mawbima 2019-01-13

අදත් වැල්ලවායේ සිට බණ්ඩාරවෙල හරහා නුවරඑළිය දෙසට ගමන් කරන ඔබට පූඬලුඔය සුවිශාල ඩන්සිනන් වතුයාය හමුවෙයි. 1984 පමණ කාලයේ එහි වතු රෝහලේ ආයතන භාර වෛද්‍යවරයා ලෙස සේවය කළේ තරුණ ජයතිලක ‍ෙදාස්තර මහතාය.

ඒ වසරේම අග භාගයේ එක්තරා දිනෙක ‍ෙදාස්තර මහතාගේ ඉතාම කිට්ටුවන්තයන් දෙදෙනකු වන ප්‍රේමසිරි හංවැල්ල හා සිසිර රන්දෙණිය මේ වතු බංගලාවට හදිසියේම පැමිණියේ ඔවුන්ගේ හිතවතකු වන එලියස් ප්‍රනාන්දු නමැත්තාට එහි තාවකාලික නවාතැන් ඉල්ලීම පිණිසය. තිදෙනා ආවේ මෝටර් සයිකල් දෙකකිනි.

රැවුල හොඳින් කපා කොටට කැපූ කොණ්ඩය පැත්තට පීරා සිනහමුසු මුහුණින් සිටි මේ අමුත්තා ඉතාම විනීත තැන්පත් පෙනුමකින් යුත් නිහඬ මිනිසකු බව පෙනිණි. සිත් ඇද බැඳ ගන්නා එහෙත් ඉතා සීමාසහිත ලෙස කතා කළ ඔහු තමන් හඳුන්වා දුන්නේ ඒ ප්‍රදේශයේ මැණික් හා ලී සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවල නිරත වන කෙනකු ලෙසිනි. උපතින්ම ගෙනා සුහදශීලී හා මිත්‍රශීලී කාරුණික බවකින් හෙබි ජයතිලක ‍ෙදාස්තර මහතා හිතවතුන් දෙදෙනාගේ ඉල්ලීම ඉවත දැමුවේ නැත. අමුත්තාට මේ ගෙදර නවාතැන් ලැබිණි. ‍ෙදාස්තර බංගලාවේ සිට වතුයාය හොඳින් දර්ශනය වන උස් වහල සහිත නිහඬ විශාල කාමරයක් අමුත්තා සඳහා වෙන්විය.

ගෙවී ගියේ මාස 3කටත් අඩු කාලයකි. අමුත්තා හා ජයතිලක යුවළ අතර ක්‍රමයෙන් දැඩි හිතවත්කමක් ඇතිවන්නට වූයේය. අව්‍යාජ සිනාවෙන්ද ළෙන්ගතු කතාවෙන් ද සෑම දෙයක් ගැනම පූර්වාදර්ශ සම්පන්න පරිණත දැනුමකින් ද හෙබි මේ අමුත්තා තරුණ යුවළගේ සිත් ගත්තේය.

මේ එක්තරා දිනය උදා වූයේ ඔය අතරය. ජයතිලක ‍ෙදාස්තර මහතා වතු රෝහලේ සේවය සඳහා ගොසිනි. ජයතිලක මහත්මිය ගේ ‍ෙදාර අතුපතුගා අස්පස් කරමින් සිටියාය. ඒ අතර අමුත්තාගේ කාමරයට ද ගිය ඇයට එහි මේසය මත කිසියම් ලිපියක් ලියමින් සිට ඇති වගක් පෙනිණ. මඳකට වත්තේ පහළට සක්මන් කළ අමුත්තා එහි විශාල ගස් සෙවණක කල්පනාවේ නිමග්නව සිටිනු ඇයට අෑතට ජනේලයෙන් පෙනිණ. පෑන මඳක් මෑත් කළ ඇය ගැහැනු ගතියට මෙන් ගෙදර නතරව සිටින අර තරුණයාගේ ලියුම දෙස හොරැහින් බැලුවාය. ලිපියෙන් ආමන්ත්‍රණය කර තිබුණේ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනටය. කුතුහලයෙන් මෙළවුණු අෑ කඩදාසි කැබැලි කීපය පෙරළමින් හුස්මට දෙකට ලියුම කියවූවාය.

එය ජනතා විමුක්ති පෙරමුණට පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් කරුණු දැක්වූ ලිපියක් විය. දෙවියනේ විශ්වාස කරන්න ලියුමට අස්සන ලෙසින් යටින් නම යොදා තිබුණේ "රෝහණ විජේවීර, සභාපති, ජනතා විමුක්ති පෙරමුණ" යනුවෙනි. තැතිගත් තරුණ ‍ෙදාස්තර බිරිය අඩියට දෙකට වහා කාමරයෙන් පිට වූවාය. ඇයට මහා භීතියක්ද කුතුහලයක්ද දැනිණි. මේ අමුත්තා කවුද? ව්‍යාපාරිකයකු යැය සිතා තම සැමියා නවාතැන් දී තිබෙන එලියස් ප්‍රනාන්දු ඇත්තටම ජේ.ආර්. ජයවර්ධන මරණ වරෙන්තු නිකුත් කර තිබෙන තහනම් ජවිපෙ නායකයාද? මේ සිදුවන්නේ කුමක්ද?

ටික වේලාවකින් නැවත නිවෙස දෙසට ආ අමුත්තා ජයතිලක මහත්මිය දෙස කාරුණික සිනාවක් පා කාමරයට වැදුණේය. කිසිවක් නොසිදුවූවා ලෙස ඇය ද මඳ සිනාවක් සමඟ ඔහුගේ මුහුණ දෙස හොඳින් බැලුවාය. අතුගාමින් සිටි කොස්ස පැත්තකට දැමූ ඇය හනි හනික කණ්ණාඩිය ළඟට ගොස් කෙස්වැටිය අතින් සකස් කර ගනිමින් අමුත්තාට නොපෙනෙන්නට පෑළ‍ෙදාරින් එළියට පැන්නාය. තේ පඳුරු අතරින් ගල් ගොඩැලි පනිමින් සැමියාට මේ කතාව කියන්නට වත්තේම මඳක් දුරින් පිහිටි කුඩා වතු රෝහල වෙත හති දමමින් දිව ගියාය.

"කලබල වෙන්න එපා ඔයා යන්න මං එන්නම්" සාවධානව මේ කතාව ඇසූ ‍ෙදාස්තර මහතා කීවේය.

ජයතිලක ‍ෙදාස්තර මහතා සවස ගෙදර පැමිණියේය. මඳක් ගිමන් හැරි සැමියාට ජයතිලක මහත්මිය තමා දහවල් දුටු ජීවිතයේ බියකරුම කතාව හිමිහිට මිමිනුවාය.

දෙදෙනාම පත්වූයේ වචනයෙන් කියා නිම කළ නොහැකි වික්ෂිප්ත භාවයකටය. ‍ෙදාස්තර මහතා නිරායාසයෙන් අසල පුටුවක් මත හිඳගත්තේය. ඉතා තියුණු මුවහත් ආයුධයක් කෙස් ගසකින් හිස උඩින් එල්ලා ඒ යට ජීවත් වීම වැනි තරමේ බියකරු හැඟීමකින් මේ දෙසිත් වෙළී යන්නට විය.

එහෙත් ‍ෙදාස්තර ජයතිලක කලබල වූයේ නැත. එදින රාත්‍රිය මඳක් එළැඹෙන තෙක් ඔහු ඉවසිල්ලෙන් සිටියේය. ඇතුළු වන්නට අසීරු ගල් ලෙනකට පිවිසෙන්නාක් සේ ඔහු තම නිවෙසේ අර අමුත්තා සිටි කාමරයට පිවිසියේය.

නිසොල්මනේ සිටි අමුත්තා වෙත ඉතා සාවධානව තම ප්‍රශ්නය යොමු කළේය. කිසිදු චකිතයක් නොදැක්වූ අමුත්තා හිමින් හිස හරවමින් නැඟිට සිටියේය.
"ඔව්. මා ඔබව විශ්වාස කරනවා. ඒත් ඔබට මාව ප්‍රශ්නයක් වේවි නේද? මම යන්නම්..."

ජයතිලක ‍ෙදාස්තර මහතා කොයි විදියේ තීරණයක් ගත්තේ දැයි දැන් ඔබ සිතනු ඇත. සාමාන්‍ය මිනිසකු සිතන පරිදි නම් එදා රාත්‍රියේම "අනේ අපේ ගෙදරින් ඉක්මනටම යන්න" යැයි ඔහු කියනු ඇතැයි ඔබ සිතනු ඇත.
"නැහැ. එපා. මම ඔබව ආරක්ෂා කරනවා. ඔබ මෙහෙ ඉන්න..." මේ පුදුමාකාර මිනිසා රෝහණ විජේවීරට නොපැකිළව කීවේය.

එක්දහස් නවසිය අසූතුන ජේ.ආර්. ජයවර්ධනගේ අසාධාරණ අත්තනෝමතික පක්ෂ තහනමින් පසු කතරගම, ගලහිටිය, තණමල්විල හා හම්බෙගමුව යන ප්‍රදේශවල වසරක පමණ කාලයක් වනගතව සිටි විජේවීරගේ පළමු රහසිගත නවාතැන නිර්මාණය වූයේ ඔය විදියටය.

එතැන් සිට වසර 03කට ආසන්න කාලයක් රෝහණ විජේවීරට රැකවරණ සැපයූ මේ ‍ෙදාස්තර මහතා කලක් යනවිට විජේවීරගේ බිරිය ශ්‍රී මතී හා එවකට සිටි සුපුන් චාගා හා දසුන් ඊෂා කුඩා දියණියන් දෙදෙනාද ළඟට ගෙන්වා ගැනීමට තරම් කාරුණික හා එඩිතර වූයේ මේ ලෝකයේ කිසිවකුත් නොදන්නා රහස රකිමිනි. ඉතා ළෙන්ගතු ඇසුරකට පත්වුණු විජේවීර, ‍ෙදාස්තර යුවළ ඇමතුවේ නංගී හා මල්ලී යනුවෙනි. විජේවීරගේ උපදෙස් මත මේ යුවළ විජේවීර ඇමැතුවේ "ලොකු අයියා" ලෙසිනි.

ඊට ටික කලකට පසු 1985දී පමණ ‍ෙදාස්තර ජයතිලකට ඩන්සිනන් වතුයායෙන් බළන්ගොඩ මැද්දකන්ද වතුයායට රජයෙන් මාරුවීමක් ආවේය. ජ්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ මේ අව්‍යාජ නිර්ධන පන්ති විප්ලවවාදියා දරු පවුල සමඟින් එතැනටද ගෙන ගොස් ආරක්ෂා කිරීමේ අවදානම් තීරණය ගැනීමට මේ අපූරු මිනිසා පසුබට වූයේ නැත. විජේවීර බිරියට තුන්වැනි දරුවා ලැබුණේ ඒ මැද්දකන්ද වතුයායේදීය.

සිය නායකයා හල්දුම්මුල්ල ප්‍රදේශයේ විශේෂයෙන් සූදානම් කළ රහසිගත ආරක්ෂිත නවාතැනකට ගෙන යන්නට එකල විජේවීරගේ කිට්ටුම සගයකු වූ සුමිත් අතුකෝරලගේ මූලිකත්වයෙන් 1985 අගදී පමණ පක්ෂය තීරණය කරන තෙක්ම වසර තුනකට වැඩි කාලයක් විජේවීර සිටියේ ‍ෙදාස්තර ජයතිලක සමඟය. ඉතා ගැඹුරු කෘතඥතාවකින් හදවත පුරවා රෝහණ විජේවීර එදා මේ ආදරණීය යුවළගෙන් සමුගත්තේය. ඊට පසු කවදාවත් ඔවුනොවුන් මුණගැසුණේ නැත. එහෙත් හැම සිංහල අවුරුද්දකට පෙරම මැද්දකන්ද වත්තට මෝටර් සයිකලයකින් පැමිණෙන නාඳුනන සගයකු අත මී පැණි බෝතලයක් එවීමට "ලොකු අයියා" අමතක නොකළ බව ඔහු මා සමඟ කියා තිබිණ.

ජයතිලක ‍ෙදාස්තර මහතා මේ ලියුම්කරුට හඳුනා ගන්නට ලැබුණේ මීට බොහෝ කලකට ඉහතදීය. ඉඳහිට දුරකතනයෙන් කතා කරන තරමට පසුව මා සමඟ බොහෝ සෙයින් මිතුරු වූ ඔහු තහනම් ජවිපෙ නායකයා සමඟ ඉතා දිගු කාලයක් එක වහල යට ජීවත් වීමට තමන් ලද භාග්‍යය ගැන කතා කළේ ඉමහත් භක්තියකිනි. විජේවීර සමඟ එක වහලක් යට ඔහු ලද සුවිශාල අත්දැකීම් ගැන කියන්නට තරමේ කිසිසේත් ප්‍රමාණවත් නොවන කොටසක් 2009දී මම "දිවයින" ඉරිදා සංග්‍රහයට ලියුවෙමි. එදා ජයතිලක ‍ෙදාස්තර මහතා ඉතා හැඟීම්බර ලෙස විජේවීර සිහි කළ අයුරු මට සම්පිණ්ඩනය කර ගත හැකිවූයේ මෙසේය.

"ලෝකයේ ඔහු වැනි මිනිසුන් ඉතා විරල ඇතැයි මා සිතනවා. ඔහු හැම විෂයයක් ගැනම මනා ලෙස හදාරා තිබුණා. හැම දෙයක්ම ගැනම විද්‍යාත්මක විග්‍රහයක් ඔහුට තිබුණා. පරිපාලනය ගැනත් වෛද්‍ය විද්‍යාව ගැනත් එකල තරුණ වෛද්‍යවරයකු වූ මට ඔහු කියා දුන්නා.

"පොදුවේ දරුවන් කෙරෙහි ඔහු තුළ තිබුණේ විශාල ආදරයක්. දැන් 24 වියැති තිළිණි ජයතිලක මගේ දියණිය ලැබෙන්නට ආසන්නව සිටියදී මගේ බිරිය (සුසිලා පද්මිණි) සිටියේ ඉතා අපහසුවෙන්. ඇයට රාත්‍රියට නින්ද ගියේ නැහැ. ඔබ විශ්වාස කරනවද දහවල් කාලයේ සමහර විට දවස් දෙක තුන දේශපාලන කටයුතු සඳහා මගේ නිවෙසින් බැහැර ගොස් බරපතළ දේශපාලන කාරණා ගැන වෙහෙසව එන මේ මිනිසා මගේ බිරියගේ මානසික තත්ත්වයත් අපහසුවත් තේරුම් ගෙන සමහර දිනවල බොහෝ රෑ බෝ වන තෙක් ඇයට සහනයක් වන්නට ඇය සමඟ කතා කරමින් කැරම් ක්‍රීඩා කරනවා. කොටින්ම මගේ කුලුඳුල් දියණිය උපදින විට මගේ බිරියට උපදෙස් දෙමින් උදවු උපකාර කළේ රෝහණ විජේවීර."

"පසුව මම ඔහුගේ කිට්ටු සගයන් දෙතුන් දෙනකු හඳුනා ගත්තා. ඔවුන් මගේ නිවෙසට ආවා ගියා. එහෙත් ඔහු කවදාවත් අපේ ගෙදර දේශපාලන සාකච්ඡා පැවැත්වූයේ නැහැ. ඔහු ඉතාම සංවේදී පුදුමාකාර සුහදශීලී මිනිසෙක්. කල් නොයවා අද කළ යුතු දේ අදම කරන්නටත් විධිමත්ව වැඩ කරන්නටත් මම ඉගෙන ගත්තේ ඔහුගෙන්. මගේ ජීවිතයේ සාර්ථකත්වයට ඔහු බෙහෙවින් බලපෑවා"

එක්දහස් නවසිය අසූ නවය නොවැම්බරයේදී විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසු අගමුල සොයා යන මර්දන බළකායෙන් ජයතිලක යුවළට බොහෝ දුක් ගැහැට සිදුවිය. ඔවුන් අත්අඩංගුවේ වද වේදනා වින්දේය. මේ නිවෙසට එකල ආ ගිය දෙතුන් දෙනාගෙන් විජේවීරගේ ළෙන්ගතුම සගයකු වූ සිසිර රන්දෙණිය තමා මරා දමන අවසන් මොහොත දක්වාම ජයතිලක ‍ෙදාස්තර යුවළ නිර්දෝෂී බවත් ඔවුන්ට නිදහස දෙන ලෙසත් පුන පුනා පැවැසීම නිසා මර්දන වෘකයන්ගේ මරණයෙන් ගැලවීමට ඔවුන්ට හැකි විය. බොහෝ වද වේදනා විඳ මිය ගිය ඒ "සිසිර මල්ලි" පිළිබඳ ජයතිලක ‍ෙදාස්තර මහතා මා සමඟ පැවැසුයේ ඉතා හැඟීම්බර ස්වරයකිනි.

වසර තුනකට අධික කාලයක් රහසිගත විජේවීර සමඟ තමන් සතු අපූරු මතකයන් සහ කිසිවකුට මෙතෙක් හෙළිදරව් නොකළ කතාන්දර ගැන ලියමු යැයි මේ විශ්වාසදායක සාක්ෂිකරුවා මට 2010 වසරේ දිනෙක යෝජනා කළේය. එවකට ඔහු සේවය කරමින් සිටියේ මාතර මාකඳුර රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරිවරයා ලෙසිනි. එහෙත් ඊට ආසන්න කාලයකම අවුරුදු 54ක් වැනි ඉක්මනින් මේ සුන්දර මිනිසා හදිසියේ මිය ගියේය. ආණමඩුවෙන් එපිට නවගත්තේගමට නුදුරු සිය උපන් ගම වන වෙලේවැව ගම්මානයේ පොදු සුසාන භූමියේදී ඔහු එදා අවසන් ගමන් ගියේ අසමසම පෞරුෂයක් දැරූ උතුම් මිනිසකු වශයෙන් මගේ හදවත තුළ බොහෝ දේ ඉතිරි කර තබමිනි.

ඔහුගේ අවසන් ගමන දකින්නට එදින එහි යන්නට වළක්වා ගත නොහැකි හේතුවක් නිසා ප්‍රමාද වූ මගේ හෘදය සාක්ෂිය ඊට පසුදාම හිමිදිරි පාන්දර බොහෝ දුරබැහැර ගෙවා ඔහුගේ නිවෙස සොයා ගියේය. මේ අව්‍යාජ ගැමියා හැදී වැඩුණු චාම් මහ ගෙදර ඉදිරිපිට විශාල වැලි මිදුලේ ඔහුගේ දිගු කාලීන පෙම්වතිය ද දයාබර බිරිය ද වූ ජයතිලක මහත්මිය මට බොහෝ දේ කීවාය.

මිනිසකුගේ මරණය පිළිබඳ මගේ සිතට ජීවිතයේ දැනුණු ගැඹුරුම වේදනාව පළ කළ මම ඇයට දණ නමා වැඳ එදා ඒ කැලෑබද ගම්මානයෙන් නික්මුණේ මහා රූස්ස ගසක අලවා තිබුණු මා මෙහි පළ කරන ඔහුගේ රුව සහිත ශෝක පණිවුඩය හීන් සීරුවේ ගලවා හදවතට තුරුලු කර ගෙනය.

කාලය දැන් වසර 30 - 40ක් ගෙවී ගොස් තිබේ. මෙම ජනවාරි 18 වැනිදා තිරගත වීමට නියමිත අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ රෝහණ විජේවීර චරිතය ඇසුරින් නිපැයූ "ගින්නෙන් උපන් සීතල" සිනමා පටයට මූලික පදනම වැටුණේ ජයතිලක යුවළ සමඟ තහනම් ජවිපෙ නායකයා එක වහලක් යට ගෙවූ රහසිගත ජීවිතය පිළිබඳ ඒ රසවත් අපූර්ව කතාන්දරය ඇසුරිනි.

පසුගිය දෙසැම්බර් 28 වැනිදා චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ පැවැති එහි මාධ්‍ය දර්ශනය නැරඹීමට මෙම කතාවේ එකම ජීවමාන සාක්ෂිකාරිය වන ‍ෙදාස්තර බිරිය සුසිලා පද්මිණි ජයතිලක මහත්මියටද මම ඇරයුම් කළෙමි. සිය ජීවිතයේ වසර 35ක පමණ වැළලී ගිය ඉතිහාසයෙන් එපිට මේ ලෝකයේ කවුරුවත් නොදැන සිට රහසේ ප්‍රතිනිර්මාණය දකින්නට ඇය බොහෝ දුරබැහැර ගෙවා කොළඹ පැමිණ සිටියාය. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ඇයගේ චරිතයට පණ දෙන්නේ සම්මානනීය රංගන ශිල්පිනී දිල්හානි ඒකනායකය. ‍ෙදාස්තර ජයතිලකගේ චරිතය නිරූපණය කරන්නේ විශ්වජිත් ගුණසේකරය.

මේ කිසිත් නොදන්නා එවකට ඉපදිලාවත් නොසිටි තවත් අමුත්තකු මේ සිනමාපටය නැරඹීම සඳහා එදින පැමිණ සිටියේය. දැනට රුසියාවේ ඉගෙනුම ලබන ඔහු ලංකාවට පැමිණ සිටියේ නිවාඩුවක් සඳහාය. ඒ වෙන කිසිවකුත් නොව රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරය.

තාත්තා ඝාතනය කරන විට 1989දී අවුරුදු එකහමාරක පමණ දරුවකු වූ උවිඳු විජේවීර සිනමාපටය අවසානයේ තරංගනී පරිශ්‍රයේදී මේ අපූරු ගැහැනිය සොයා ආවේ ඒ සිදුවීමේ ප්‍රතිනිර්මාණය දැකීමෙන් මඩනා ලද හැඟීම්බර සිතක් ඇතිව විය යුතුය. ඒ හමුවීම පුදුමාකාර එකක් විය. උවිඳු විජේවීර පුතා මේ මාතාව වැලඳ ගත්තේය. බොහෝ දේ කතා කළේය. තමා මෙලොවට බිහිවෙලාවත් නොසිටි ඉතිහාසයෙන් පමණක් අසා ඇති එක්තරා භීම සමයක තමන්ගේ තාත්තා, අම්මා හා වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා රැක ගත් ජයතිලක යුවළ පිළිබඳ ඔහුගේ හැඟීම මහ මෙරක් තරම් වන්නට ඇත.

ලෝකයේ හොඳම නිර්මාණ බිහි වන්නේත් උපරිම මානව හැඟීම් දනවන සංසිද්ධීන් ඉපදෙන්නේත් හමුවීම් සහ වෙන්වීම්වලිනි. මෙරට ඉතිහාසයේ ගැඹුරුම සිදුවීම්වලට විවේචනයන්ට සහ ප්‍රහාරයන්ට මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරය රෝහණ විජේවීරගේ දේශපාලන ව්‍යාපාරයය. ඔහු තරම් ඉහළ අගයක් ගන්නා වූද ප්‍රතිභාසම්පන්න වූද උත්තේජනයක් බෙදාහරිමින් සිය පන්ති යුතුකම ඉටු කළ නායකයකු නැති තරම්ය. 'ගින්නෙන් උපන් සීතල' නිර්මාණයක් ලෙස ඔහුට සහ ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට පමණක් නොව ඒ යුගයක අවසානයට යථාර්ථවාදී සහ විචාරශීලී ලෙස කොයිතරම් දුරට සාධාරණය ඉටු කර ඇද්දැයි වෙනම කතා කළ යුතු වන්නේය.

තිස්ස කොරතොට

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon