වැටි වැටි නැඟිටින හැටි ලෝකෙටම උගන්නල ‍ෙදාස්තර සිහිනය දිනපු හංසජිත්ගේ කතාව

  👤  2505 readers have read this article !
By mawbima 2019-01-13

ඔබ! විභාගයකින් පලා යා හැකි පහසුම මාර්ගය, එයින් පූර්ණ සාමාර්ථයක් ලැබී යැයි විශ්වාස කරන්නේ නම් ඒ සඳහා කදිම උදාහරණයක් මා අත ඇත.

සිහින නිර්මාණය කිරීම අසීරු කාර්යයකි. සිහිනයක් තුළ ජීවත් වීම ඊට දෙවැනි නොවේ. මා අත ඇති කදිම උදාහරණය සිහිනවලට පිළියම් සිදු කරමින් එයම නිසා පුරාවෘත්තයක් බවට පත්වූවකි. ඔහු නමින් කුලතුංග මුදලිගේ තිසර හංසජිත්ය. දිරිය ඇති පුතෙකි. විශිෂ්ටයෙකි. විශිෂ්ට දෑ ඒවායේ කැමැත්ත අනුව ඇති නොවන බවට අපට පෙන්වා දෙන්නෙකි. සාමාන්‍ය දරුවෝ පහසු නමැති බෑවුම මත පහළ පෙරළීමට නැඹුරුවක් දැක්වූවත් හංසජිත් එවැන්නෙක් නොවේ. ඔහු තෝරාගනු ලබන්නේ බෑවුම මතින් ඉහළට පෙරළීමය. එය අසීරුය. ඒ මුත්; සිදු කළ යුත්තකි.

මම හංසජිත් සමඟ අඩ දවසක් ගෙවා දැමුවෙමි. ඔහු දෙස බලා සිටියෙමි. ඔහු මගේම දරුවන් ලෙස බලා සිටිනා තුටු මුහුණුවරකිනි. බොහෝ කරණා දැන සිටිනා පුද්ගලයා හට වචන ඩිංගකින් තමන්ගේ අදහස් පැහැදිලි කළ හැකි බව හංසජිත් ඒ අඩ දවස තුළ මා හට අවබෝධ කළ බව නම් කිව යුතුමය. හංසජිත් තෙවරක් අපොස (උසස් පෙළ) විභාගයට පෙනී සිට අපට කියා දෙන්නේ සිහිනයක් නම් එහි දිග පළල කෙතරම්ද යන වගය. අවසන මම මෙලෙස සිතන්නෙමි. හංසජිත් වැන්නන් බහුලය. ඒ හංසජිත්ගේ වචනයෙන් පවසා සිටින ලෙස ඔහුද හැමවිටකම පළමුවැනියා නොවුණු වාර ගණන අනන්ත නිසාය. ඒ නිසා හංසජිත් වැනි සැබෑ දූ පුතුන් වෙනුවෙන් අප හංසජිත්ට ඇහුම්කන් දිය යුතුය. ඒ යුතුකම පිළිබඳව එළැඹි සිතකිනි.

"මගේ සම්පූර්ණ නම කුලතුංග මුදලිගේ තිසර හංසජිත්. මගේ මුල්ම පාසල කඳන්ගමුව නවෝද්‍යා මහා විද්‍යාලය. ඒ පාසලෙන් තමයි මම ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ මම 2008 අවුරුද්දේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ආනන්ද විද්‍යාලයෙන් අපොස සා.පෙළ විභාගයට පෙනී සිටියා. අපොස සා.පෙළ හැම විෂයකටම 'ඒ' සාමාර්ථ ලබා ගත්තා. මුලින්ම 2016 අවුරුද්දේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටියා. එහිදී 'ඒ' සාමාර්ථ දෙකක් එක්ක 'බී' සාමාර්ථයක් ලබා ගත්තා. කොළඹ දිස්ත්‍රික්කයෙන් 309ය. ලංකාවෙන් 1910 වැනියා වුණා. ඒත් වෛද්‍ය අංශයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණා. 2017 අවුරුද්දේ දෙවැනි වර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටියා. 'ඒ' සාමාර්ථ තුනක් ලබා ගත්තා. කොළඹ දිස්ත්‍රික්කයෙන් 269 වැනියා. ලංකාවෙන් 977 වැනියා වුණා. ඒත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණා. ඊට පස්සේ තමයි තුන්වැනි පාරට 2018 අවුරුද්දේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටියේ. එහිදී 'ඒ' සාමාර්ථ තුනක් ලබා ගත්තා. දිස්ත්‍රික්කයෙන් 2 වැනියා වුණා. ලංකාවෙන් 16 වැනියා බවට පත් වුණා.

පුංචි කාලේ ඉඳලා මම පාඩම් කළා. කාලසටහනකට අනුව නෙවෙයි, මට මතක් වුණාම මෙන්න මේ විෂයන්ට අදාළව මගෙ දැනුම මදි කියලා වෙලාවක් අවේලාවක් අනුව මම පාඩම් කළා. එහෙම නැතිව හැම විෂයකටම එකම කාලයක් වෙන් කරගෙන පාඩම් කළේ නැහැ. අපොස සා.පෙළ විභාගයට මුහුණ දෙන කොට හැමදාම පාඩම් කළේ නැහැ. එක එක විෂයන් ගැන මට තියෙන දැනුම පිළිබඳව කල්පනාකාරී වුණා. එහෙත් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන කොට හැමදාම පාඩම් කරන්න පුරුදු වුණා. ඒක ඊට පස්සේ පුරුද්දක් බවට පත් වුණා.

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 180 අරගෙන ඒ විභාගය සමත්වුණ දවසේ ඉඳලා මගේ අධ්‍යාපන මට්ටම හැමදාම ඉහළ නංවාගන්න තමයි මට වුවමනා වුණේ. ඒ සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ පන්තිවල හිටපු චාන්දනී, වජිරා, ප්‍රැටි්‍රෂියා, චමරි කියන ගුරු මෑණිවරු ඒ අයගේ උපරිම සහාය මට ලබා දුන්නා. ඒ ගුරු මෑණිවරු දැන් ආනන්ද විද්‍යාලයේ නැහැ. මම දන්න තරමට සිංහල උගන්වන ප්‍රැටි්‍රෂියා ගුරු මෑණිවරිය පමණයි ආනන්ද විද්‍යාලයේ ඉන්නේ. ඊට පස්සේ අපොස උසස් පෙළ විභාගයේදී මගේ පන්ති භාර ගුරුවරිය වුණු දර්ශනී ගමගේ ගුරු මෑණිවරිය මට විශාල සහායක් ලබා දුන්නා මේ තැනට එන්න. අනෙක් විෂයන් භාර සිටින සමන් ළමාහේවා ගුරු මහතා සහ හේමාලී ගුරුතුමිය පාඩම් වැඩ අතපසු නොකර කර ගෙන යන්න සුවිශේෂී සහයක් ලබා දුන්නා. ඒ අතර මට ඉංග්‍රීසි විෂය උගන්වපු මධුවන්ති මාන්නප්පෙරුම මහත්මිය ලබාදුන් සහායත් සිහිපත් කළ යුතුයි.

පළමුවැනි පාර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිද්දී මම කලින් කිව්ව විදියට ශිෂ්‍යත්ව විභාගයේ ඉඳලා අනෙක් හැම විභාගයකදීම මගේ විෂය දැනුම වර්ධනය කර ගන්න තමයි වැඩ කළේ. සාමාන්‍යයෙන් මම තමයි හැමදාම වගේ පන්තියේ පළමුවැනියා වෙන්නේ. ආනන්ද විද්‍යාලයේ මාත් සමඟ අධ්‍යාපනය ලැබූ සහෝදර සිසුන් අති දක්ෂයි. ඒ දක්ෂයන් අතර පළමුවැනියා වෙන්න පුළුවන්කම ලැබුණම මම තේරුම් ගත්තා එකවර අපොස උසස් පෙළ විභාගය සමත් වෙලා මෙඩිසින් යන්න පුළුවන් වෙයි කියලා. ඒත් බැරි වුණා. ඒ අතර මම මානසික පීඩාවට පත් වුණා. මොකද මට ලොකු විශ්වාසයක් තිබුණා පළමුවරම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වෙයි කියලා. ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගෙදරට වෙලා මාස තුනක් විතර හිටියා. ඒ කාලය තුළ විභාග ප්‍රතිඵල ගැන විශ්වාසයක් තිබුණ නිසා නැවත පාඩම් කරන්න උනන්දු වුණේ නැහැ.

ප්‍රතිඵල එද්දී විෂය දැනුම අඩු මට්ටමකට පැමිණෙනවා. ඒ කියන්නේ අමතක වෙනවා. ප්‍රතිඵල ආවා. තිබුණේ එක 'ඒ' සාමාර්ථයක් පමණයි. මට පුදුම හිතුණා. මම හිත හදා ගත්තා. මට වුවමනා වුණා විෂයන් තුනටම 'ඒ' සාමාර්ථ ලබා ගන්න. නැවත වරක් උපකාරක පන්ති යන එක ආරම්භ කළා. සාමාන්‍යයෙන් මම වගේ ප්‍රතිඵල ගත්ත අය ආපසු පාරක් ක්ලාස් යන්නේ නැහැනේ. හැමෝම පුදුම වෙලා වගේ බලනවා. දෙවැනි පාර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින එක පළමු පාරට වඩා අසීරු වුණා. දෙවැනි වර ප්‍රතිඵල 'ඒ' තුනයි. ඒත් වෛද්‍ය විද්‍යාලයට තේරුණේ නැහැ. 'ඒ' තුනක් අරගෙන මම ආයේ පාරක් අපොස උසස් පෙළ විභාගයට පෙනී ඉන්න උපකාරක පන්ති යන්න ගත්තා.

එතකොටත් හැමෝම වගේ පුදුම වෙලා මන් දිහා බලන්න ගත්තේ. ගුරුවරු පවා. එහෙම සිදුවීමක් විවිධ විදියට අර්ථ කථනය වෙනවානේ. මම සැලුනේ නැහැ. මට වුවමනා වුණේ කොහොම හරි වෛද්‍යවරයෙක් වෙන්න. ඒ අධිෂ්ඨානයේ මම හිටියා. හදපු ගණන් ආයේ ආයේ හදන්න වුණා. පාඩම් කරපු විෂයන් ආයේ ආයේ පාඩම් කරන්න වුණා. අනෙක් ළමයි ගණන් හදන්නේ ගුරුවරු ලබා දෙන විෂය දැනුමෙන්. ඒත් මට ඒ ගණන් කටපාඩම්. පාඩම් කරපු විෂය කරුණු නැවත නැවත පාඩම් කරන්න වුණා. විෂය දැනුම වුණත් අලුත් වෙන්නේ නැහැ. මොකද මට ඒවා මතක නිසා.

ඒ හැම වෙලාවලම මම හිතුවා මට කොතැනද වැරැදුණේ කියලා. දැන් මම හැම විෂය කරුණක් එක්කම හොයන්න ගත්තේ මට වැරැදුණු තැන. මම උපකාරක පන්ති යද්දී ඒ පන්තිවල මට වඩා දක්ෂ අය හිටියා.
උදාහරණයක් විදියට උපකාරක පන්තිවල ප්‍රශ්න පත්‍ර ලබා දීමේදී මම පළමුවැනියා නෙවෙයි. පෙළක් වෙලාවට හයවැනියා විතර. මම එහෙම වෙලාවට දැනුණා මම වැඩ කළ යුතුයි; මට තරගයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ මානසික මට්ටම් මම ම හදා ගත්තා තරගයට මුහුණ දෙන්න.

දෙවැනි වර අපොස උසස් පෙළ විභාගයෙන් මම ලංකාවෙන් 977 වැනියා වෙද්දී 1470 දෙනෙක් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබනවා මේ පවතින ක්‍රමය මත. මට වඩා 500 විතර අය මට පිටිපස්සෙන් හිටියත් වෛද්‍ය විද්‍යාලයට යනවා. මට යන්න බැහැ. මේ තත්ත්වය ඉතාම දරුණු විදියට මට බලපෑවා. මානසික මට්ටම කඩන් වැටුණා. ඒ හැම අවස්ථාවකදීම මම හිතුවේ පවතින ක්‍රමය මේක නම් මම ජයග්‍රහණය ලබන්න ඕනත් මේ ක්‍රමය තුළින් කියලා. පළමුවැනි පාර අපොස උසස් පෙළ ලියලා ප්‍රතිඵල ආපු අවස්ථාවේ මට දෙවැනි වර අපොස උසස් පෙළ විභාගයට ලියන්න හේතු තිබුණා. ඒ කියන්නේ 'ඒ' සාමාර්ථ තුනක් ලබාගන්නවා වගෙයි. දෙවැනි වර මට 'ඒ' සාමාර්ථ තුනක් ලැබුණත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැහැ.

එතකොට ආයේ පාරක් විභාගය ලියන්න වුණා. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් අය විභාගයට පෙනී සිටින්නේ හොඳම ප්‍රතිඵල අරගන්න. මම හොඳම ප්‍රතිඵල අරගෙන ඉවරයි. ඒත් පවතින ක්‍රමය යටතේ මට ආයෙත් පාරක් විභාගය ලියන්න සිදු වෙලා. කමක් නැහැ: මම හිත හදා ගත්තා දිස්ත්‍රික්කයෙන් කී වැනියාද? ලංකාවෙන් කී වැනියාද? කියන එක මුල් කරගෙන වැඩකරන්න. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

මම දැනගෙනත් හිටියනේ මට වඩා දක්ෂයෝ ඉන්නවා කියලා. මම පෞද්ගලික උපකාරක පන්තිවල විභාගවලට මුහුණ දෙද්දී කවම දාකමත් පළමුවැනියා නෙවෙයි. ගම්පහ ළමයි 1400 වගේ ඉන්න උපකාරක පන්තිය පැවැත්වෙන විභාගයකදී මම හයවැනියා හත්වැනියා වගෙයි. ඒ කියන්නේ වාර දෙකක් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීලා අත්දැකීම් තියෙන මම ඒ වගේ තැනක ඉන්නේ ඇත්තටම මට තරගයක් තියෙන නිසා. මට ඒක පිළිගන්න සිදු වුණා. ඒත් මගේ යාළුවෝ පෙළක් අවස්ථාවලදී ගුරුවරු පවා මගෙන් ඇහැව්වා ඇයි ආයේ පාරක් අපොස උසස් පෙළ කරන්නේ කියලා. පවතින ක්‍රමය මේක: ඒක ඇතුළේ මමත් ඉන්න එපායෑ වගේ උත්තර දෙන්න බැහැනේ. ඒ හින්දා මම හිනාවෙලා සාමාන්‍ය විදියට හිටියා වෛද්‍යවරයෙක් වීමේ සිහිනය එක්ක.

මෙහෙම ප්‍රතිඵලයක් ලබා ගන්න මගේ මවුපියෝ මට විශාල සහායක් ලබා දුන්නා. කොහොමත් විද්‍යා, ගණිත වගේ කරන අය උසස් පෙළ විභාගය දෙවතාවක් පෙනී ඉඳලා තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. පළමුවැනි පාර 'බී' සාමාර්ථ ගත්තම අම්මා තාත්තා කිව්වා ආයෙත් පාරක් උසස් පෙළ ලියන්න කියලා. යාළුවොත් එහෙමයි. දෙවැනි පාර විභාගයේ මම ගොඩක් අසරණ වුණා. සමහර අය මගේ මුහුණට කිව්වා ඔයාට ලැබීමක් නැහැ කියලා. දෙවියෝ ඒ අවස්ථාව ඔයාට දෙන්නේ නැහැ කියලා. මම නිහඬ වුණා.

ඒ අයට පිළිතුරු දෙන්න ඕනෑ විභාග ප්‍රතිඵලවලින්ම කියලයි මම තීරණය කළේ. ඒත් මම තේරුම් ගත්තා කාලය ගතවෙනවා. මම වයසට යනවා කියලා. මොකද වෛද්‍ය විද්‍යාලයට යන්න සුදුසුකම් ලබා ගත්තා කියන්නේ වෛද්‍යවරයෙක් වුණා කියන එක නෙවෙයි. වෛද්‍යවරයෙක් වෙන්න තවත් විභාග සහ කාලය සමඟ එන ගැටලුවලට මුහුණ දිය යුතුයි.

කඳන්ගමුව පාසලෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉඳලා ලකුණු 180ක් අරගත්ත දවසේ ඉඳලා අපොස සාමාන්‍ය පෙළ හැම පන්තියකදීම වගේ මම මුල් දහදෙනා අතර හිටියා. උපරිම අටවැනියා. එහෙම නැත්නම් එක, දෙක, තුන අතර හිටියේ. මම දැනගෙන හිටියා අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඒ මට්ටම ඇති කියලා. මොකද අපොස සාමාන්‍ය පෙළ කියන්නේ සාමාන්‍යයෙන් තරග විභාගයක් නොවන නිසා. මොකද අපොස උසස් පෙළ කරන්න සුදුසුකම් ලබා ගන්න විතරයි අපොස සාමාන්‍ය පෙළ වුවමනා වෙන්නේ. අපොස සාමාන්‍ය පෙළදී මම පාඩම් කළාට මහන්සි වුණේ නැහැ.

උපකාරක පන්තිවලට යනවා කියලා හැම විෂයකටම ගියේ නැහැ. හැබැයි උසස් පෙළ කරද්දී සාමාන්‍ය පෙළට වඩා ගොඩක් මහන්සි වුණා. උසස් පෙළදී 'ඒ' තුනක් ගන්න එක නෙවෙයි වැඩේ. වෛද්‍ය විද්‍යාලයට යන්න සුදුසුකම් ලබාගන්න එකයි වැඩේ. මම ඒක තේරුම් ගත්තා. කාලය කළමනාකරණය කරගන්න ගත්තා. ඊට පස්සේ තමයි වැඩිපුර පාඩම් කරන්න වෙලාවක් හදා ගත්තේ. සාමාන්‍යයෙන් මීරිගම ඉඳලා කොළඹ ආනන්ද විද්‍යාලයට යන්න මම පාන්දර 5.15ට විතර ගෙදරින් පිටත් වෙන්න ඕනෑ. ආපසු ගෙදර එද්දී හවස 4.00 විතර වෙනවා.

මහන්සියි: ඒක දැනෙනවා. සෙනසුරාදා ඉරිදා දවසම උපකාරක පන්ති. ඒ වගේ මොහොතක පාඩම් කරන්න වෙලාවක් හදාගන්න එක අසීරු වුණා. දෙවැනි වර උසස් පෙළ කරද්දී ඒ ගැටලුව ඇති වුණේ නැහැ. මොකද උපකාරක පන්ති සතියටම තිබුණේ දවස් තුනක් නැත්නම් හතරක්. ඉතිරි දවස්වල සම්පූර්ණයෙන් පාඩම් කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ ගොඩක් ළමයි දෙවැනි වර උසස් පෙළ ලියලා කැම්පස් යන්නේ ඔන්න ඔය හේතුව නිසා කියලා. ගෙදර පරිසරය වුණත් දෙවැනි පාර උසස් පෙළ කරද්දී මට වුවමනා විදියටයි තිබුණේ. මල්ලි පාසල් යනවා. තාත්තා වැඩට යනවා. අම්මා වුණත් හැමදාම ගෙදර නැහැ. ගෙදර පරිසරයෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා. නිදහසේ, මානසික ඒකාග්‍රතාව රැකගෙන පාඩම් කළා. ටී.වී., රේඩියෝ මම බලන අහන කෙනෙක් නෙවෙයි. ඒ හින්දා දවසම උපරිම විදියට පාඩම් වැඩවලට කැප කරන්න පුළුවන් වුණා.

විභාගය ආසන්න වෙද්දී මම සමාජ මාධ්‍ය ජාලාවලින් ඉවත් වුණා. ගොඩක් මාධ්‍ය ජාලාවල තිබුණු මගේ ගිණුම් අතහැරලා දැම්මා. රෑ කෑම කද්දී ප්‍රවෘත්ති වගේ දෙයක්වත් බැලුවේ. මම පාවිච්චි කරපු ජංගම දුරකථනය වුණත් ස්මාර්ට් ජංගම දුරකථනයක් නෙවෙයි. ඇමැතුමක් ගන්න පුළුවන් අවම පහසුකම් තියෙන ජංගම දුරකථනයක් තමයි පාවිච්චි කළේ. තාක්ෂණය එක්ක අපි ඉන්න ඕනෑ. මට ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වගේ ගිණුම් වගේ තියෙනවා. ඒත් ඒවා මගේ අධ්‍යාපන රටාවට සහායක් ලබා දෙන්නේ නැත්නම් ඒවායින් මට ප්‍රයෝජනයක් නැහැ. විභාගයට මාස 4කට කලින් ෆේස්බුක් ගිණුම අක්‍රිය කළා. එහෙම කරන්න පුළුවන්කම තිබිය යුතුයි. මොකද විභාගයක් ආසන්නයේ අපේ මූලික අරමුණින් බැහැර වෙන කිසිම දේකට හිත යොමු කරන්න සුදුසු නැහැ. මේ දේවල් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ සිදුවන දේවල් විදියට මම ගත්තේ. එහෙම නැතිව මම මෙහෙම දෙයක් කරනවා කියලා ප්ලෑන් කළේ නැහැ."

කුලතුංග මුදලිගේ තිසර හංසජිත්ගේ මව වන තිස්සකුට්ටිගේ තේජා රුක්මනී.

"පුතා ඉපදුනේ 1997 මාර්තු 1 වැනිදා කොළඹදී. අපි එතකොට පදිංචි වෙලා හිටියේ බත්තරමුල්ලේ. පුතා දක්ෂයි. අපි එයාට ඉඩ දුන්නා. මම එයාව ඉක්මනින්ම පෙර පාසල් අධ්‍යාපනයට යොමු කළා. විශේෂයක් කියලා කළේ ඒක විතරයි. එයා ගැන ලොකු විශ්වාසයක් අපිට තිබුණා. ඒ හින්දා එයාට නිදහස ලබා දීලයි තිබුණේ. පාඩම් වැඩවලට අතපොවන්න උපදෙස් දෙන්න අපි මැදිහත් වුණේ නැහැ. අපිට තේරුම් ගන්න පුළුවන් වුණා දරුවා තෝරගෙන ඉන්න මඟ හරි මඟ කියලා. එතකොට අපි කරන්න ඕනෑ එයාට සහාය වෙන එක කියලයි. මමයි පුතාගේ තාත්තයි හිතුවේ එහෙම. තාත්තා රජයේ සේවකයෙක්. එයා සෙත්සිරිපාය ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. එයාගේ නම කේ.එම්. විජයදාස. පුතා පුංචිකාලේ ඉඳලා එයත් එක්ක අපි හිටියා. පාසල් වාහනවලට දාලා පාසල් යැව්වේ නැහැ.

මම උදේට එක්කගෙන යනවා. හවසට එක්කගෙන එනවා. ඒ සම්බන්ධය නිසා අපට දරුවව හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණා. හංසජිත් පුතාට බාල පුතෙක් අපට ඉන්නවා. එයා තිළිණ හංසමාල්. කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඉගෙන ගන්නේ. පුතාලා දෙන්නා අපොස සා.පෙළ විභාගයට මුහුණ දෙනකම් මම රැකියවක් කළේ නැහැ.

ඊට පස්සේ පෞද්ගලික අංශයේ රැකියාවකට ගියා. ඒ දරුවෝ දෙන්නගේ වැඩකටයුතුවලට බාධා නොවන විදියට. පුතා නිශ්ශබ්ද කෙනෙක්. විභාගයට ගොඩක් මහන්සි වුණා. කවමදාවත් තේ එකක් හදලා දෙන්න කියලාවත් කියන්නේඑළිවෙනකම් පාඩම් කරනවා. මම ගිහින් කියනවා පුතා දැන් නිදා ගන්න කියලා. පුතා එතකොට මට කියන්නේ මට මහන්සි නැහැ. අම්මා ගිහින් නිදා ගන්න කියලා. මට සතුටුයි. එයා හොඳ වෛද්‍යවරයෙක් වේවි. දවසක මිනිසුන්ට උදවු කරාවි. ඒ විශ්වාසය මට තියෙනවා.

"එපා වුණා මාමේ! ගොඩක් අය මට මූණට කිව්වා ඔයාට ලැබීමක් නැහැ. දෙවියෝ ලැබීම ඔයාට දීලා නැහැ කියලා. ඒත් මම උත්සාහය අතහැරියේ නැහැ." හංසජිත් එලෙස පවසනවා දැනුදු මට ඇසේ.

පුතා! ඔබ පිළිතුරක් ලබා දුන්නා. "දෙවියන්ගේ කැමැත්ත ඉක්මන් කරවිය නොහැකියි; නමුත් එය නිශ්චිතවම නොවරදින දෙයක්." කියා. හංසජිත් පරපුර වෙනුවෙන් පෙරට එන්න යැයි මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ කුලතුංග මුදලිගේ තිසර හංසජිත් හැම විටකදීම පළමුවැනියා නොවූ නිසා. 072-6965989/070-2798323

කතාව පින්තූර -
ප්‍රභාත් අත්තනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon