මිනිස්සුන්ට යහපතක් කරන්න අපි බය නෑ: ඕනෑ දේකට ලෑස්තියි - ඩඩ්ලි සිරිසේන

  👤  2479 readers have read this article !
By mawbima 2019-01-13

ඔබ අවස්ථා කිහිපයකදී දේශපාලනය පිළිබඳ විවිධ ප්‍රකාශ කළා. ඩඩ්ලි සිරිසේනත් මේ දේශපාලනයට අවතීර්ණ වීමක්ද පාදාගන්න යන්නේ?

කිසිසේත්ම නැහැ. ඒක කරන්න බැරිකමක් නෙවෙයි. කරන්න පුළුවන්. නමුත් අපි ගොඩනැඟුණේ ජනතාවගේ දහදිය ලේවලින් තැනුණු ව්‍යාපාරවලින්. ඒ නිසා ඒ ජනතාව කැමැතියි ඔවුන්ට යම් විශ්වසනීය සේවයක් කරන්න පුළුවන් දේශපාලනයකට සහයෝගය දෙන්න. එහෙම නැතිව මගේ පෞද්ගලික දේශපාලන වුවමනාවක් ඉෂ්ට කරගැනීමක් නැහැ. මම ව්‍යාපාරිකයෙක්.

පසුගිය කාලේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ කිහිපදෙනකුත් මේ වගේ ජනප්‍රිය කතා කිව්වා. දේශපාලනයට එන්න ඔබට තිබෙන සුදුසුකම මොකක්ද?

නිතරම ජීවිතයක, ඕනෑම වැඩපිළිවෙළක විනයක් කියලා එකක් තියෙන්න ඕනෑ. ඒ නිසා අපි ජේ‍යෂ්ඨත්වය, අත්දැකීම් බහුලකම, දැනීම වැදගත්. මිනිහෙක් විශ්වවිද්‍යාලයක ගිහින් ආචාර්ය, මහාචාර්යකම් ගහන්නම ඕනෑ නෑ. ඕනෑම කෙනෙක්ගේ දැනීම හා ඥානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඥානයට වඩා අත්දැකීම් තුළින් ලබන ප්‍රඥාව තමයි රටක් පාලනයට වගකීම තියෙන්නෙ. මේවා අපිට කරන්න බැරිකමක් නෙවෙයි. නමුත් මීට වඩා අපට පුළුවන් සුදුසු පුද්ගලයන්ට සහාය දීලා රට හදන වැඩපිළිවෙළේ වගකීම ගැනීම.

ඔබ වටෙන් යනවා. මම සුදුසුයි. නමුත් දේශපාලනයට එන්නෙත් නෑ කියලා. ඔබේ සහෝදරයා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය නේද මේ තුළ තියෙන්නේ?

මේක පත්තරේ ලොකු අකුරින් දාන්න. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි කැමැති නැහැ දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔක්කොම අපි සහෝදරත්වයෙන් හිටියා. මේ යන වැඩපිළිවෙළ තුළ එක පැත්තකින් දේශපාලනයෙන් රාජ්‍ය දේපළ මංකොල්ල කාලා. දූෂණය කරලා. ඒ විදිහෙ කරන්න පුළුවන් ඔක්කොම ජරා වැඩ කරලා රටත් සීසීකඩ කඩනවා. මේක මහා ලොකු කුමන්ත්‍රණයක ස්වභාවයක් තමයි මට පේන්නේ.


ජාතිවාදය යන වචනය අද දේශපාලනිකව ජනතාව අන්දවන්න පුළුවන් සිල්ලරම වචනය කරගෙන නේද?

දමිළ, මුස්ලිම් හෝ මේ රටේ සුළු ජාතීන් නැතිව මේ රටේ අපිට ජීවත් වෙන්න බෑ. ඒ අයට අපි නැතිවත් බැහැ. මම අපොස සා.පෙළ සමත් වෙලා තියෙනවා. උසස් පෙළ වාණිජ හා කලා අංශ දෙකෙන්ම ඉගෙනගෙන තියෙනවා. නමුත් විභාගෙ ලියලා නෑ. නමුත් මං අත්දැකීම් බහුල මිනිහෙක්. ඒ අත්දැකීම් තමයි වටින්නේ.

ඔබට දේශපාලනයට එන්න අවශ්‍යතාවක් ඇත්තෙම නැද්ද?

මං මගේ සාර්ථකත්වය ලැබුවේ රටේ ජනතාව සමඟ කළ ව්‍යාපාර මට්ටමින්. අද රටේ ප්‍රධානම ප්‍රශ්නය ඩොලර්. අපේ රටේ ඊළඟට මං කරන්න හදන වැඩපිළිවෙළ තමයි වැදගත්. ස්ටෙප්ලර් කට්ට චීනෙන්, කොණ්ඩ කටුව චීනෙන්, ඇල්පෙනිත්ත චීනෙන්. අපේ රටට ඩොලර් ප්‍රමාණයක් එන්න ඕනෑ, නැද්ද?

සමහර වෙලාවට අපි කන හාල් ටික ගේන්නේ රටින්. මොනවා හරි දේක පොඩ්ඩක් මිල වැඩි වුණාම ඉල්ලුම හා සැපයුම බලලා ඒක අරගෙන කැඳ ටිකක් හරි බීලා ඒ ක්‍රමවේදය හදනකොට මිනිස්සුන්ට වේලාසන කියන්න ඕනෑ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි මේකට ලෑස්ති වෙන්න ඕනෑ කියලා. මේක එහෙම නෙවේනෙ. රටින් ගෙන්නනවා. ගෙන්නලා තීන්දු තීරණ අරගෙන, ඊට පස්සෙ ජනතාව හිර වෙනවා. ඒ නිසයි යම් සැලසුමක් ඕනෑ කියන්නේ.

ඔබ දේශපාලනයට පිවිසුණත් නැතත් කොහොම හරි අයියා - මලෝ ගොඩ ගියා නේද? ජනාධිපති මෛත්‍රිගේ අනුහසින්?

ජනාධිපතිතුමා පාර්ලිමේන්තු යන්නෙත් 1989 පෙබරවාරි ඡන්දෙන්. මම ව්‍යාපාර පටන් ගත්තේ 1980. මගේ පළමු ව්‍යාපාර කටයුත්ත සිංගප්පූරුවට, බැංකොක්වලට ගිහින් රෙදි ටිකක්, සපත්තු ටිකක් ගෙනත් කරපු බිස්නස් එක. එතුමා ඔය තැනට එනකල් මේ රටේ සල්ලි තියෙන මිනිස්සුත් එක්ක දේශපාලනය කරලා නැහැ. සාධාරණ ලෙස මුදල් හොයලා එයාට වැඩකටයුතු කරගන්න මූලික ශක්තිය දෙන්න කටයුතු සලසල දුන්නා මං. අපේ අම්මා මාව වදලා තියෙන්නෙ එයාට ඒ ශක්තිය දෙන්න.

මේ ආණ්ඩුව බලය ගන්න එන විට කිව්වේ යහපාලනය ගැන. ඔබ අද පිළිගන්නවද ඒ යහපාලනය රටේ ස්ථාපිත නොකළ බව?

යහපාලනයෙ යම් යම් කරුණු කාරණාවල ප්‍රතිඵල ඇති තැන් තියෙනවා. අපි ලොකු විශ්වාසයක් තියලා පසුගිය කාලේ ගත් ඉතා බරපතළ දේශපාලන කාරණයක් තමයි මේ රටේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ගන්නවා ඡන්ද ලක්ෂ 58ක්. 2010ම අප්‍රේල් 8 වැනිදා මහ මැතිවරණයේදී සරත් ෆොන්සේකා ගන්නවා ඡන්ද ලක්ෂ 42ක්. ඒ අවුරුද්දෙම එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ 23ට බහිනවා. අපි ඊට අවුරුදු 4කට පස්සෙ එජාපය ප්‍රමුඛව අපි රටේ යහපාලනයක් සෑදීම සඳහා කළ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අපි ජීවිත පරිත්‍යාගයෙන් නොකා, නොබී, නොනිදා, ඒ වැඩපිළිවෙළ කළා.

ඔබත් දූෂණයට විරුද්ධ බව නිතර ප්‍රකාශ කරනවා. හැබැයි දූෂණයට, වංචාවට තිත තියනවා කියන කාරණයම අද ජනතාවට හාස්‍යජනක වෙලා නේද?

නෑ. මම දූෂණයට විරුද්ධ දැන් නෙවේ.

නමුත් ඔබ එළියට එන්නෙ දැන්?

නෑ. මං හැමදාම එළියෙ හිටියා. නමුත් මේ කෙටි කාලය වැදගත්නෙ. අපිට රටේ වගකිවයුතු ව්‍යාපාරිකයෝ වශයෙන් වගකීමක් තියෙනවා. ඔබ කියන්නෙ මට ඒ ගැන වගකීමක් නෑ කියලාද?

ඔව්. පුරවැසියකු ලෙස ඔබට එවැනි වගකීමක් තියෙනවා?

අනිවාර්යයෙන්ම. පුරවැසියකුට වැඩියෙන් මං දහස් ගාණක් ජීවත් කරවනවා ඍජුවම.

ඔබ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. අදටත් දහස් ගණනකට වේල් දෙකක් කන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. දැනට අනෙක් ප්‍රශ්න පැත්තකින් තියලා අවම තරමින් රටේ ආර්ථික කළමනාකරණය පැත්තට අවධානය යොමු කළ යුතුයි කියලා හිතෙන්නෙ නැද්ද?

ඒක තමයි මම කිව්වේ අර ඉදිකට්ට, අල්පෙනිත්ත, කොණ්ඩකට්ට, පැන්සල මේ සියලු දේ රටින් ගෙන්නලා ජීවත් වෙන්නෙ අපි. මේවා නිලවශයෙන් නතර කරන්න ඕනෑ. ජනතාවට අවශ්‍ය නිශ්චිත ප්‍රමාණය කොපමණද කියලා ඒවා බෙදලා ඒ දත්ත හදන්න ඕනෑ.

ඒවාට තමයි රටේ ඉන්ජිනේරුවොන්ට ඒ පහසුකම් දීලා හොරකමට කිසි ඉඩක් නොදී නියමිත විදියට වාර්තා කරන්න ඕනෑ. අපි ‍ෙදාස්තර මහත්තුරුන්ගෙන්, රාජ්‍ය සේවකයන්ගෙන්, සංස්ථා අධිකාරි සියලුම සේවකයන්ගෙන්, පෞද්ගලික අංශ සේවකයන්ගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. අපි සාධාරණ විදියට මේ මහජන මුදල් හොරකම් කරන්න නොදෙන සමාජයක් ගොඩනඟන්න එක්වෙමු කියලා. ඒ වෙනුවෙන් මං ඔබලා සමඟ මැරෙන්න හරි ඉන්නවා. අපි එදා සාධාරණ ලෙස එළියට බැස්සට මොකද වුණේ අන්තිමට.

ඔබ කියූ කාරණය හරි. එදා ලක්ෂ 62ක් ඔබේ සහෝදරයාට ඡන්දෙ දුන්නා ඔහු කෙරේ විශ්වාසය තබලා. නමුත් ඒ 62 ලක්ෂයේ ජනවරම පාවාදුන්නෙත් ඔහුමයි. ඉතින් ජනාධිපතිවරයාගේ සහෝදරයා වූ ඔබ කියන දේ අද ජනතාව පිළිගනියිද?

ජනතාවට පිළිනොගන්න යම් හේතුවක් තියෙනවා නම් ඒක ජනතාවගේ ප්‍රශ්නයක්. ජනතාව පිළිගන්නවාද කියන එක නෙවේ කාරණය. නැත්නම් මමත් මේකට මෙච්චර කල් සද්ද නැතිව ඉඳලා දැන් කිව්වම අර කෙහෙල්මුවක් පැන්නා වගේ. මම එහෙම මෝඩ චරිතයකුත් නෙවේ. ඒකත් එහෙම ලියන්න. දැන් මේ යන වැඩපිළිවෙළ ගත්තම බල තණ්හාව, තනතුරු, ඇමැතිකම් වෙනුවෙන් මහින්ද මහත්තයා හොරු හොරු කියලා එළවලා දැන් මාස 2ක් යන්න කලින් අපේ රෙද්ද ගැලෙව්වා. අපි 62 ලක්ෂයක් ජනතාවට පොරොන්දු වුණේ අපේ රෙද්ද ගලවාගන්න නෙවේ. මේ පාර අපි ගලවනවා ඕනෑ කෙනෙක්ගෙ රෙද්ද මේ කියන විදියට කළේ නැත්නම්.


මෙවැනි දේශපාලන ප්‍රකාශ කරන්න කියා කවුරු හරි ඔබට ලණුවක් දුන්නද?

අපි මේ රටේ මිනිස්සුන්ගේ ලේ දහදියවලින් ව්‍යාපාර ගොඩනැඟුවේ. අපි හොඳට දන්නවා Ground Level  එක. තණකොළවල පහස අපිට හොඳට දැනෙනවා. මේ ක්‍රමය යහමඟට ගත යුතුමයි. මම ලණු කාලා නෑ.


ඔබේ හෝටල් ව්‍යාපාරය නිසා වනාන්තර, අලි ඇතුන් විශාල වශයෙන් විනාශ වෙනවා. සංචාරක ව්‍යාපාරය ගැන උනන්දු බවට ලොකු ප්‍රකාශ තුළත් මේ ව්‍යපෘතියෙන් පරිසරයට හානි වෙනවා නම් මොකක්ද මෙහි ප්‍රතිඵලය?

මොකක්ද මගේ හෝටල් නිසා වෙලා තියෙන පරිසර හානි?

ඔබට උදාහරණයක් කියන්නම්. ඔබේ නුවරඑළියෙ තැනූ හෝටලය නිසා ගේ‍රගරි වැව සිඳුණු බවට ප්‍රදේශවාසීන් එරෙහි වුණා. තව පැත්තකින් සෝමාවතී ජල ගැටලු ප්‍රශ්නය ඇදුණා?

මම මේ රටේ නීතිඥ සංගමයේ සභාපතිතුමාට මේ රටේ නීතිපතිතුමාට අපි කවුරුත් ගරු කරන අග්‍රවිනිශ්චයකාරතුමාට කියන්නෙ මම නීති විරෝධී වැඩක් කරලා ගංගාවලට හානි කරලා, අලි මරලා, නිදන් හාරලා, ව්‍යාපාර නැති කරලා, හොරකම් කරලා දේශපාලන සල්ලි අරගෙන, අයියගේ පවර් එක අරගෙන එහෙම සල්ලි හම්බ කරලා තියෙනවා නම්.

මට කවදා හරි එවැනි පරීක්‍ෂණයකට යන්න වෙනවා නම් මම එදාට ඉරිදා පත්තරයක් සම්පූර්ණයෙන්ම හරි සල්ලිවලට අරගෙන මගේ ඒ වත්කම්, ඒ වත්කම්, තියෙන තැන් ප්ලෑන් ඔක්කොම ගත්ත කාල සීමාවල් සල්ලි ආවෙ කොහෙන්ද, සල්ලි ගත්තෙ කොහෙන්ද, කොච්චර ණය වෙලා තියෙනවද, කොච්චර රජයට පොලිය ගෙවලා තියෙනවද ඔක්කොම ගණන් හදලා පෙන්වන්නම්.

ඒ වගේම වැලි ජාවාරම්, කැලෑ කැපීම් ගැනත් ඔබට එරෙහිව පොළොන්නරුවේ ජනතාව නිකම්ම දෝෂාරෝපණය කරනවා වෙන්නත් බැහැ නේද?

පොළොන්නරුවෙ එක මිනිහෙක් හරි ඔය මට කරන චෝදනාව මගේ ඉදිරියට ඇවිත් කරනවා නම් ඒ මිනිහට මගේ පොළෙන්නරුවෙ තියෙන දේපොළ වස්තුව ලියලා දෙනවා. ඔයාට භාගයයි. එයාට භාගයයි.

එවැනි චෝදනා ඔබ ඉදිරියට නොගෙනෙන්න ඔබ ඒ ජනතාවගේ කට වහලද එහෙනම්;

ජනතාවගේ ඉතින් කටවල් වහන්න පුළුවන් කාලෙ ඉවරයි. ගිය ජනවාරි (8දා) වැනිදායින් පස්සේ අපි ඒ ජනතා අයිතිය හොඳට දීලා තියෙනවා. අන්න යහපාලනයෙන් අපි දීපු නිදහස. අද කොහොමද මිනිස්සු කතා කරන්නේ. අද පාරක වළක් හෑරුණොත් බස් එකක් නැති වුණොත් කොහොමද මිනිස්සු කතා කරන්නේ? කවුද ඒ අයිතිය අරන් දුන්නේ.

ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්ම නිකුත් කළ කැබිනට් පත්‍රිකාවක තිබෙනවා 2013 වන විට රටේ තිබූ වී මෝල් අද වන විට 500ක් බවට පත්වෙලා කියලා. ඉතිරි 1500ම වෑසී යෑමට හේතුව ඔබේ සහල් මාෆියාව බවටයි ප්‍රබල චෝදනාව?

මේ මාව ඉන්ටර්විව් කරනවට වඩා මාව කන්න බලන් වගේ ප්‍රශ්න අහන්න ඇවිත් තියෙන්නේ. පුළුවන්නම් මේකත් ලියන්න. මං ඒවට බය නැහැ. මෙහෙමයි. ඔබ මීට කලින් මගෙන් ඇහුවා වැලි ජාවාරමක් ගැන. කැලෑ කැපීමක් ගැන. මං ඒකට කියලා ඉන්නම්. අවුරුදු 20ක් විතර කැබිනට් ඇමැතිවරු, පරිසර ඇමැති මහින්ද විජේසේකර මහතා, ෆවුසි ඇමැති කාලේ සිට ඔය කැලෑවලට යන්න, ඕනෑ කෙනකුට දර කපාගෙන එන්න අයිතිය තිබ්බා. ඒ ගැසට් එක එහෙම තිබුණත් ඒකට ඒ ඇමැතිවරු කවුරුවත් අස්සන් කළේ නැහැ. අයියා පරිසර ඇමැති වුණු ගමන් ඒ ඔක්කම අස්සන් කළා. දැන් ඒ වැලි ගොඩදාන ප්‍රදේශයේ සම්පූර්ණ පාලනය වෙන්නේ අග්‍රවිනිශ්චයකාරතුමාගේ තීරණයන් යටතේ. ඒ ඔක්කොම කටයුතු කළේ අයියා පරිසර ඇමැති කාලේ.

සහල් මාෆියාවට යමුද? වී මෝල් 1500ක් පමණ වැහෙන්න බලපෑ හේතුව ඔබද?

මං වරදක් කරලා තියෙනවා නම් මං ඒකත් කියනවා. මිනිස්සු දියුණු වෙද්දී මාධ්‍යට තියෙනවා යම් වගකීමක්. මිනිස්සුන්ගේ දියුණුව, මිනිස්සුන්ගේ කාර්යක්ෂමතාව තුළ මිනිස්සුන්ට මේ හාල් ගර ගර ඉන්න, ගඳ සුවඳ බල බල ඉන්න, දහයියා කාලා බඩේ ලෙඩ හදාගන්න, සුනුසහල් එක්ක උයලා බත් එක බෙරි කරගන්න. කෑම උයලා පැය භාගයකින් පිළුණු වෙන්න.

එහෙම මිනිස්සු කැමැති නෑ. දැන් ඔයාලා හණමිටි කාලේ එව්වා තමයි මේ අහන්නෙ. අපිත් ඔහොම පොඩිවට ඉඳලා තමයි ලොකු තැනට ආවේ. Qality කියන එක තමයි වැදගත්. ඔයා දැන් මගෙන් අහන්නේ වී මෝල් ගැනනේ. වී මෝල් 2000යි. හරි... රටේ සිල්ලර කඩ කොච්චර තියෙනවාද?

එතකොට සුපර් මාර්කට්, රෙදි කඩ, අද මොනවද නැත්තේ? ඒවා ගැන ලියන්න. ඒක ඔයාට තියා කාටවත් නතර කරන්න බැහැ.

එතකොට වී කිලෝවකින් රුපියල් 20ක් ඔබේ ව්‍යාපාරය විසින් ගසාකනවා කියන චෝදනාවත් බොරුද?

ගණන් මිනුම් හැදීමේ තීන්දු, තීරණ මං හිතන්නේ නැහැ මාධ්‍ය සාකච්ඡාවට හරියයි කියලා.

මං ඇහුවේ වී ගොවියට වෙන අසාධාරණයක් සම්බන්ධව.

නෑ, නෑ, නෑ, පොඩ්ඩක් ඉන්න. ඔයා ඇහුවේ ලාභයක් ලබන කතාවක් ගැනනේ. ඔය කියන විදියට රුපියල් 20ක් ලාභ තියාගෙන විකුණනවා නම් අපි ඒ හාල් හොඳ වුණත් මිනිස්සු නොගන්න එපායැ. අපි මේ රුපියල් 20ද 5ද, 2ද 10ද කියන ඔයාගේ ලාභෙ පිළිබඳ ප්‍රශ්නයට වැඩිය අපි යම්කිසි තත්ත්වයකට එහෙමත් නැත්නම් Quality කියන පැත්තට යා යුත්තේ. වී මෝල්වලටත් කෙළවුණේ ඒ හොඳට හදපු අරලිය, නිපුණ කියනQuality  එකට පටන් ගත් ව්‍යාපාර නිසා. හොඳ රෙදි වුණත් අද තියෙන්නේ හොඳ විශාල සාප්පුවල.

පසුගිය දින 51 ආණ්ඩුවට 113 හදන්න මන්ත්‍රිවරු බිලීබෑමේ ප්‍රධානියා වුණේ ඩඩ්ලි සිරිසේන කියලා විශාල මතයක් පැතිරුණා.

අපි දවසේ ඇහැරලා ඉන්න වැඩි ප්‍රමාණයක එකම දෙයක් ගැන වැඩිපුර හිතුවා නම් ඒ අපේ දරුවෝ ගැන. මගේ දරුවෝ දෙන්නා සහතිකයි.

මේ රට හදන්න කතා කරන ඩඩ්ලි සිරිසේනගේ සල්ලි ඔය වගේ රිළවුන්ට, නරියන්ට මම දෙන්න? ගත්ත කෙනෙක් ඉන්නවා නම් ආණ්ඩුව ආයෙ එකතු වෙලානේ ඉන්නේ. ඔප්පු කරන්න කියන්න. එයාට මං දෙනවා මගේ වස්තුවම. ඒකෙන් භාගයක් ඔයාටත් බෙදිලා එයි. මගේ සල්ලි මේ දේශපාලන ගෙම්බන්ට මම දෙයිද?

මගේ සමාජ වගකීම ඒ වගේ අයව මේ දේශපාලනයෙන් මකා දැමීම. ඔයාම කිව්වා මම මේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් කියලා. කෝ එහෙනම් මගේ සිකියුරිටි. මං ඇවිල්ලා ඉන්නේ ඩ්‍රයිවර් එක්ක.

මේ සමාජයේ අපිට බය වෙන්න දෙයක් නැහැ. ජීවත් වෙන්න තියෙන කාලේ අඩුයි. ජනතාව වෙනුවෙන් ගෞරවනීය මරණයක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මට යම් විදියක තනතුරක් දරන්න වුණොත් මම රජයෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ. මම ගෙවනවා රජයට ගාණක්.

මෛත්‍රිපාල සිරිසේන මහතා දැහැමින් සෙමෙන් ගමනක් යන බව පෙන්වද්දී ඩඩ්ලි සිරිසේන චණ්ඩි පාට් එක්ක ගමනක් යන්න හදනවා. එහි යම් සත්‍යයක් තිබෙනවා නේද?

මේ වගේ දූෂණයට, භීෂණයට විනයක් නැති රටක බුදු හාමුදුරුවන්ගෙ ක්‍රමය අනුව අපි බැලුවා අපේ මෛත්‍රි පාලනයත්. ඒකට ලැබුණු ප්‍රතිඵල දන්නවනේ. මෛත්‍රි පාලනය කරන්න ආපු අය තමයි අපේ රෙදි ගැලෙව්වේ. ඒ හින්ද, අපි ඊළඟ ක්‍රමවේදය අරගෙන තියෙන්නේ මිනිස්සුන්ට අයහපත සඳහා නෙවේ. මිනිස්සුන්ට යහපතක් කරන්න. අපි බය නෑ. අපි ඕනෑ දේකට ලෑස්තියි.

සංවාදය - අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon