අම්මා-තාත්තාට පින් දෙන්න කෝටි 2ක් වැය කරලා පිළිමයක් හදන බුදු පුතෙක්

  👤  2607 readers have read this article !
By mawbima 2019-01-13

තමන් මෙලොවට දායාද කර හදා වඩා උස් මහත් කළ මවුපියන් වර්තමාන සමාජයේ බොහෝ දරුවන් විසින් අමතක කර දමන බැව් නොරහසකි.

වයස්ගත මව පියා පාළු හුදෙකලා තැන්වල අතරමං කර දමා යන දරුවන්, මවුපියන්ට නොසලකා බලු කූඩුවලට තල්ලුකර තම කෘෘරත්වය ලොවට පෙන්වූ ගුණමකු දරුවන් පිළිබඳව අපට පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබී තිබේ.

ඒ අන්දමට මිනිස් ගුණධර්ම, හරපද්ධතීන් ශීඝ්‍ර පිරිහීමකට පත්වෙමින් තිබෙන ජන සමාජයකින් යුත් අප රටේ අෑත දුෂ්කර පෙදෙසක වෙසෙන උදාර පුතකු තම ආදරණීය මවුපියන්ගේ වියෝවෙන් උපන් දුක තුනී කර ගැනීම පිණිසත්, ඔවුන්ට පින් පෙත් අනුමෝදන් කරවීමත් අරමුණු කරගෙන විසල් බුද්ධ ප්‍රතිමාවක් ඉදිකළ අපූරු පින්කමක් පිළිබඳව පසුගියදා අපට අසන්නට ලැබිණි.

පොළොන්නරුවේ, හිඟුරක්ගොඩ වෙසෙන මේ දානපති උතුම් පුතු නමින් මද්දුමාගේ දොන් රවීන්ද්‍ර ගුණවර්ධනය. 58 හැවිරිදි තිදරු පියකු වන හෙතෙම සිය මවුපිය උපහාර පිණිස ඉදිකරනු ලබන බුද්ධ ප්‍රතිමාව අඩි 46ක් උසැති ආශීර්වාද මුද්‍රාවෙන් යුත් සමාධි බුදු පිළිමයකි. හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ පාරේ පුලතිසිගම ගම්උදාභූමිය අබියස පිහිටි ඩී.එස්. සේනානායක චෛත්‍යයට නුදුරින් ඉදිවෙන මේ බුද්ධ ප්‍රතිමාව සඳහා වැය වන මුදල රුපියල් කෝටි 2ක් පමණ වන බව ගණන් බලා තිබේ.

ඒ සඳහා වන මුළු පිරිවැය සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් යෙදවීමට අරමුණු කර ගත් රවි ගුණවර්ධන මහතා තමන් සතු ධනය රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ දැනට වැය කර ඇති බව අප සමඟ පැවැසීය. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ඒ මහතා 2017 වසරේදී මේ උතුම් පින්කමට මුලපුරා ඇති අතර මුලින්ම ඊට ඇවැසි මුදල් සපයාගෙන ඇත්තේ හිඟුරක්ගොඩ, හරිත උයනේ පිහිටි තමන් සතු නවීන පන්නයේ අංගසම්පූර්ණ නිවෙසක් රුපියල් ලක්ෂ 65කට විකිණීමෙනි.

අලංකාර බුද්ධ මන්දිරයකින්ද සමන්විත ආකාරයට නිම කිරීමට සැලැසුම් කර ඇති මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරනුයේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රම්‍යවර්ධන පොඩි නිලමේ, ජේ‍යෂ්ඨ කථිකාචාර්ය චන්දන කුමාරසිරි යන මහත්වරුන්ය. බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරනුයේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන නිරංග රූපසිංහ මුතුගල මහතායි.

ආශීර්වාද මුද්‍රාවෙන් වැඩ හිඳිනා සමාධි බුද්ධ ප්‍රතිමාවක් මෙතරම් විශාලත්වයෙන් යුක්තව මෙතෙක් දිවයිනේ කිසිදු ස්ථානයක ඉදිකර නැතැයි හිඟුරක්ගොඩ ඩී.එස්. සේනානායක විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය බුද්ධයායේ ඉන්ද්‍රරතන හිමියෝ අප සමඟ පැවැසූහ. ඒ බුද්ධ ප්‍රතිමාවේ සහ විහාර මන්දියේ වැඩකටයුතු නිමවීමෙන් පසුව මේ පුණ්‍ය භූමියට පමණක් නොව පුලතිසි පුරවරයටම විශාල ආලෝකයක් ලැබෙනු ඇතැයිද උන්වහන්සේ කීහ.

විහාරාධිපති හිමියෝ ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීහ.

'අපේ විහාරස්ථානයේ ප්‍රධාන දායක මහත්මයෙක් ලෙස කටයුතු කරන රවි ගුණවර්ධන මහත්මයා එතුමාගේ සිතේ පහළ වූ අදහසකට අනුව අපේ ආශීර්වාදය ඇතිවයි මේ බුද්ධ ප්‍රතිමාව ඉදිකරන්නේ. රවි මහත්මයා මේ ප්‍රදේශයේ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් නෙවෙයි. ඊට වඩා ලොකු වෙළෙඳ ව්‍යාපාරිකයන් මේ හිඟුරක්ගොඩ නගරයෙත් අපේ විහාරස්ථානය අවටත් වාසය කරනවා. මේ අතුරින් රවි මහත්මයා සුවිශේෂ චරිතයක්.
එතුමාගේ පරලෝ සැපත් ආදරණීය මවුපියන් සිහිපත් කරලා ඒ අයව අනුස්මරණය කරන්න, ඒ දෙපළට පින් පෙත් අනුමෝදන් කරවන්න මූලික අරමුණ කර ගනිමින් බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කර ගැනීම සඳහායි මේ උතුම් පින්කම එතුමා සිද්ධ කරන්නේ.

මෙතැන විශේෂත්වය වන්නේ වර්තමාන පාරිභෝගික සමාජය තුළ විශාල තරගකාරිත්වයක් තිබෙනවා බොහෝ දේවල් තමන්ට එක් රැස්කර ගන්න. නවීන පන්නයේ යාන වාහන, ගෙවල්‍ෙදාරවල් ඒ ආදී තවත් බොහෝ දේ. නමුත් රවි මහත්තයා ඒ අතුරින් කිසිම දෙයක් නෙවෙයි එක් රැස් කර ගන්නට උත්සාහ දරා තිබෙන්නේ කුසල්, පින්. එතුමා තමන් සතුව තිබුණු අංගසම්පූර්ණ නිවෙසක් පවා විකුණා එයින් ලබාගත් මුදල් මේ බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමේ සද්කාර්යයට යෙදවූ බව මා දන්නවා.

මෙය ඉදිවන්නේ එතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගය තුළින් පමණයි. මේ වෙනුවෙන් පින් පෙට්ටි, සල්ලි සම්මාදම් කිරීම්, ටිකට් පොත් අච්චු ගහලා ප්‍රචාරයන් ලබාදීලා නෑ. ඉතාමත්ම නිහඬ පුණ්‍ය කටයුත්තක් විදියට 2017 වසරේ ජනවාරි මාසයේ පටන් මේ දක්වා කෙරීගෙන යනවා. එතුමාගේ බලාපොරොත්තුව මේ අවුරුද්දේ වෙසක් මාසයේදී පමණ බෞද්ධ මහජනතාවට වන්දනා මාන කිරීම සඳහා එහි වැඩ කටයුතු නිමවා දීමටයි.
හිඟුරක්ගොඩ ඩී.එස්. සේනානායක විහාරස්ථ භූමියේ ඉදිවන මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීම ආරම්භ කරන ලද්දේ විහාරාධිපති හිමියන්ද අවට විහාරස්ථාන වන හිඟුරක්ගොඩ ශ්‍රී සේනානායක ජයමහ මහ පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කටුගම්පොළ පියරතන නාහිමි, හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය සිරිකෙත සිරිසීවලී නාහිමි, පුරාණ උණගලාවෙහෙර රජමහ විහාරාධිපති පූජ්‍ය ගිරිතලේ ඤාණිස්සර නාහිමි යන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ආශීර්වාද සමඟින් බව දානපති රවි ගුණවර්ධන මහතා අපට ප්‍රකාශ කළේය.

එපමණක් නොව මේ සඳහා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, නීතිවේදීන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරික ප්‍රජාව ආදී විවිධ සමාජ ස්ථිරයන් නියෝජනය කරමින් උපදේශක මණ්ඩලයක්ද ක්‍රියාත්මක වන බවත් එහි ජේ‍යෂ්ඨත්වය උසුලනු ලබන්නේ පොළොන්නරුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතා බවත් රවි ගුණවර්ධන මහතා කීවේය.

තමන් මෙවැනි කටයුත්තක් කිරීමට යොමු වූ අරමුණ සහ සිය ව්‍යාපාරික ජීවිතයේ ඉතිහාසය සම්බන්ධයෙන් හෙතෙම අප හමුවේ සිය අදහස් පළ කළේ මෙසේය.

'මගේ මවුපියෝ මහ වත් පොහොසත්කම් තිබුණු උදවිය නෙවෙයි. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ 6 දෙනෙක්. මම වැඩිමලා. අපිව ජීවත් කරවන්න අම්මා - තාත්තා ලොකු වෙහෙසක් දැරුවා. බොහෝම දුක් මහන්සි වුණා. ඒ දෙදෙනාම දැන් ජීවතුන් අතර නෑ. මම කල්පනා කළා ඒ අය වෙනුවෙන් කළ හැකි ලොකු උපහාරයක් කියලා මේ දේ. ඒ අනුව තමයි මේ බුද්ධ ප්‍රතිමාව මගේම සංකල්පයකට අනුව මගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කිරීමට අදහස් කළේ. ඒ සඳහා රුපියල් කෝටි ගණනක් පමණ වැය වන බවට ගණන් බලලා තිබෙනවා. දැනට එහි වැඩ කටයුතු සියයට 70කින් පමණ අවසන්. රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් විතර මේ සඳහා වැය වෙලා තිබෙනවා. මේ අවුරුද්දේ වෙසක් මාසයේ මෙහි කටයුතු අවසන් කරලා බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නයි මගේ බලාපොරොත්තුව

. අපේ ජීවිත, අපි හරි හම්බ කරන සෑම දෙයක්ම කවදාහරි නැති වෙලා යනවා. මැරෙන මිනිසුන් හැටියට අපි තේරුම් ගත යුත්තේ ඒකයි. ඒ නිසයි මම මේ වගේ පින්කමක් මගේ ආදරණීය මවුපියන් සිහිපත් කරලා ඒ අයට උපහාරයක් විදියට කරන්න කල්පනා කළේ. බෞද්ධයෙක් විදියට, බුදු දහමට අනුව කටයුතු කිරීම තුළයි මගේ ජීවිතයේ වෙළෙඳ ව්‍යාපාරවල සාර්ථකත්වය ගොඩනැඟිලා තිබෙන්නේ කියන එකයි මගේ අදහස.

අදින් අවුරුදු විස්සකට, විසිපහකට කලින් මම මුලින්ම කළේ සති පොළවල් ගාණේ ගිහිල්ලා බඩු විකුණන එක. එහෙම ඉතාමත් සුළුවෙන් ආරම්භ කළ ව්‍යාපාරික ජීවිතය පිළිබඳව මට අද සතුටු වෙන්න පුළුවන්. ඒකට විශේෂිතම හේතුව තමයි වෙනත් බොහෝ ව්‍යාපාරිකයන් වගේ නෙවෙයි මම හරි හම්බ කරන දෙයින් කොටසක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා යෙදවීමට හැකිවීම වෙනුවෙන්.
අපිට ජීවිතයේ කවදාහරි සතුටු වෙන්න පුළුවන් මෙවැනි දේ තුළින් පමණයි.

ඉදිවන විශාල සමාධි බුදු රුව සහ බුද්ධ මන්දිරය වෙනුවෙන් පින් පෙට්ටි, ටිකට් පොත් මුද්‍රණය කිරීම් සල්ලි සම්මාදම් කිරීම් කිසිත් නොමැති බැව් අපි ඉහතින්ද සඳහන් කළෙමු.

එහෙත් මේ උදාර කටයුත්තේදී පින් කැමැති පරිත්‍යාගශීලීන්ටද ඊට දායකවීමට අවස්ථාව සලසා දිය යුතු යැයි ඊට අනුශාසනා කරන මහා සංඝරත්නය පෙන්වාදී ඇතැයි රවි ගුණවර්ධන මහතා කියයි.

ඒ අනුව මේ බුද්ධ ප්‍රතිමාවේ සහ බුදු මැඳුරේ නිමාවේ අවසන් අදියර වන තීන්ත ආලේප කිරීමේ පුණ්‍යකර්මය සඳහා තමන් ඊට කැමැති පින්වතුන්ට විවෘත ආරාධනාවක් කරන බවද ඒ මහතා කීය.

දානපති රවි ගුණවර්ධන මහතාගේ දුරකථන අංකය මෙසේය. 0703490250

අනුරාධ විශ්වනාත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon