මඩ ප්‍රහාරවලට කුමන්ත්‍රණවලට බයේ මං ඇකිලෙන්නේ නෑ - දයාසිරි ජයසේකර

  👤  2440 readers have read this article !
By mawbima 2019-01-13

ශ්‍රී ලනිප වැනි ප්‍රබල පක්ෂයක මහ ලේකම් ධුරය ඔබට විශාල අභියෝගයක් නේද?

මට එය අභියෝගයක් නොවෙයි. අභියෝග හැම වෙලාවකම මම භාරගෙන වැඩ කරපු කෙනෙක්. ඒවට නොසැලී වැඩ කළ කෙනෙක්.

ශ්‍රී ලනිපයෙ මහ ලේකම්කම හැමදාම ලැබුණෙ දිගටම ශ්‍රී ලනිපයෙ රැඳී සිටි පුද්ගලයකුට. ඔබ එජාපයටත් පිල් මාරු කළ අයෙක්. කුමන අනුහසින්ද මෙය ලැබුණේ?

මම පිල් මාරු කෙරුවේ මන්ත්‍රිකම් අරගෙන නෙවේ. මගේ දේශපාලන ආරම්භය ශ්‍රී ලනිපයෙන්. මගෙ අම්මා, තාත්තා දේශපාලනය කළෙත් ශ්‍රී ලනිපයෙන්. මට අසාධාරණකම් ගණනාවක් සිදු වුණා. විශේෂයෙන්ම මට ඒ ප්‍රාදේශීය සභාවේ වැඩිම ඡන්ද ගත්තත් සභාපතිකම ලැබුණේ නෑ. ඊළඟට පළාත් සභා මැතිවරණයට මං ඡන්දය ඉල්ලන්න ලෑස්ති වුණා. එයින් මගෙ නම කපලා දැම්මා. මේ වගේ අසාධාරණ සියල්ල මැද තමයි මං පක්ෂය අතහැරලා දැම්මේ.

ඒ නිසා මගේ වැඩපිළිවෙළ තිබෙන්නේ ශ්‍රී ලනිපය තුළ. නැවත මම ශ්‍රී ලනිපයට එන්නෙත් පාර්ලිමේන්තුවේ පිල් මාරු කරලා නෙවෙයි. ඒ නිසා මම මාරු කරලා නෑ. ශ්‍රී ලනිපයට ආදරේ කරන කෙනෙක් විදියට අවුරුදු 17කට පස්සේ ශ්‍රී ලනිපය දිනවන්න කටයුතු කරපු කෙනෙක් විදියට මට අයිතියක් තිබෙනවා එහි වැඩ කරන්න.

ඔය කියපු අසාධාරණ නැවත ඔබට ඇතිවිය හැකියි නේද?

මොනවා වුණත් මම මගේ පක්ෂය අතහැරලා යන්න බලාපොරොත්තුවක් නැහැ.

හිටපු ශ්‍රී ලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ධුරයෙන් ඉවත් වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දෝෂාරෝපණ බලපෑ බව ඔබ පිළිගන්නවාද?

මං හිතන්නෙ ඒක එක කාරණයක් විදියට හේතු වෙන්න වෙයි. දෙවැනි කාරණය තමයි එතුමා කල්පනා කරන්න ඇති තව කරුණු සංසන්දය කරලා ඒ තීරණය ගැනීමට.

මම සම්පූර්ණ විස්තරය දන්නේ නෑ. එතුමා ටිකක් වේදනාවෙන් කතා කළේ. ආසන්නතම හේතුව මං හිතන හැටියට සංවිධායකවරුන්ගෙන් ප්‍රශ්න ගණනාවක් ආවා පසුගිය කාලේ. ඒ සියල්ල බලපාන්න ඇති. මහාචාර්යතුමා විදියට එතුමා ගෞරවනීය පුද්ගලයෙක්. ඒ වගේම දේශපාලනය පිළිබඳව එතුමා හදාරලා තිබුණට මේ වගේ ජරාජීර්ණ දේශපාලනයක් තුළ එතුමා හැසිරිලා තිබුණේ නැහැ.

හිටපු ජනාධිපතිනිය ඔබටත් අභියෝගයක් වෙයි කියලා හිතනවාද?

නෑ. ඒක අභියෝගයක් විදියට මං දකින්නෙ නෑ. ශ්‍රී ලනිපයෙ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරනවා නම් මට එතුමිය සමඟ කිසිම ගැටලුවක් නැතිව වැඩ කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා මං හිතන්නේ නැහැ.

ඔය කාරණා එක්ක ඇය ශ්‍රී ලනිපයේ කටයුතුවලට අනිසි මැදිහත් වීමක්ද සිදු කරන්නේ?

නෑ. එතුමිය අපේ ජේ‍යෂ්ඨ උපදේශිකාවක් විදියට වැඩ කරනවා. පක්ෂය විදියට අපි ගන්න හොඳ තීරණවලට එතුමිය සම්පූර්ණ සහයෝගය දෙයි කියලා මං විශ්වාස කරනවා.

පසුගිය කාලේ ඔබ ප්‍රකාශ කළා ශ්‍රී ලනිපය 4ට බැස්සත් මම යන්නේ නැහැ කියලා. මේ ධුරය ඔබට ලැබෙයි කියලා එවිටත් ඉවක් වැටිලා තිබුණද?

එහෙම එකක් තිබුණේ නැහැ. මං මුල සිට හිටි කාරණය තමයි ඒක. ශ්‍රී ලනිපය ගොඩගන්නයි මං පසුගිය අවුරුදු 3 පුරාම උත්සාහ ගත්තෙ. ඉන්පසුව පක්ෂයේ පිරිස් ඉවත් වෙලා යනකොට තමයි මං කිව්වේ පක්ෂය දාලා මම යන්නේ නැහැ කියලා.

පසුගිය කාලේ ඔබේ දේශපාලනය ගත්තාම ඔබ විවිධ දේශපාලන කඳවුරුවලට පනින, එහෙමත් නැත්නම් වාසි සහගත ප්‍රකාශ කරන අයෙක් හැටියට දැක්කා. ටික කලකින් ශ්‍රී ලනිපයට නැවත මහ ලේකම්වරයෙක් පත් කරන්න සිදුවෙයිද?

මේවා අපිට ස්ථීර තනතුරු නොවෙයි. අපේ ජීවිත වගේ තමයි. තාවකාලික නවාතැන් මේවා. හැබැයි මගෙ බලාපොරාත්තුව තියෙන්නේ ඒ තාවකාලිකව ලැබිලා තියන තනතුර ලැබිලා තියෙන කාලවකවානුව තුළවත් මා පක්ෂය ගොඩනඟන්න වූ මහන්සියෙ ප්‍රතිඵල දැකගන්න මං බලාපොරොත්තු වෙනවා. ඊට එහා බලාපොරොත්තුවක් නෑ.

ශ්‍රී ලනිපය දෙකඩ වී ඇති බව ඔබ පිළිගන්නවාද?

ඔව්.

පක්ෂය කඩා වැටීමකට, දෙකඩ වීමකට ලක්ව ඇති මෙවැනි අසීරුතම මොහොතක එහි මහ ලේකම් ධුරය ඔබ භාරගත්තේ. දයාසිරි ජයසේකර වැනි පුද්ගලයකුට එවැනි පක්ෂයක් ගොඩගන්න පුළුවන් කියලා කොහොමද සහතික වෙන්නේ?

මම වැටිච්ච ගොඩක් දේවල්් ගොඩගන්න මහන්සි වූ කෙනෙක්. එහි ප්‍රතිඵලත් අපි දැක්කා. එජාපය අවුරුදු ගණනාවක් වැටිලා තිබුණා.

2013 වන විට මං හිතන්නේ අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් අපි කළා. නමුත් මං එළියට ආවට පස්සේ ඒක තව ඉස්සරහට ජයග්‍රහණය දක්වා ගෙන ගියා. ඉතින් මං විශ්වාස කරනවා මං ඉන්න තැන ඉන්න විට කකුල් දෙක එක තැන තියාගෙන ඉන්න කෙනෙක්. කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන වැඩ දෙකක් කරන කෙනෙක් නෙවේ.

ජනාධිපතිතුමා එක්ක මං ඉන්නවා නම් එතුමා සමඟ අවංකවම ඉන්නවා මිසක අවම තරමේ අබමල් රේණුවකවත් වෙනසක් වෙන්නේ නෑ මගෙන්. මොකද නායකයන්ගේ ප්‍රශ්න අඳුනාගෙන නායකයෝ එක්ක ජීවත් වෙන්න අපි දැනගන්න ඕනෑ. දැන් අපි ටිකක් පරිණත මිනිස්සු. මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්න විට මං ඒ විදියට හිටියා. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින විට මං ඒ විදියට හිටියා. නමුත් එතුමගේ තිබූ ප්‍රශ්න නිසා එතුමා වෙනස් කරන්න ඕන කියලා මං හිතුවා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා මොන තීරණය ගත්තත් එතුමා සමඟ මං නොසැලී ඉන්නවා.

ඔබට මේ ධුරය ලැබෙන විට ඊට ඔබ සුදුසු නෑ කියලා හතර වටින් විවේචන ආවා නේද? විශේෂයෙන් හිටපු මහ ලේකම්වරුන්ගෙන්?

කෙනෙක් තව කෙනෙක්ට තනතුරක් ලැබෙද්දී කවුරුත් සන්තෝෂ වෙන්නේ නැහැ. ඒවා බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් සමහර අය ඒකට කැමැති වෙන්න පුළුවන්. සමහර අය ඒකට අකැමැති වෙන්න පුළුවන්. සමහර අය ප්‍රසිද්ධියෙ විවේචනය කරන්න පුළුවන්. සමහරු යටින් කුටු කුටු ගාලා විවේචනය කරන්න පුළුවන්. මඩ ගහන්නත් පුළුවන්. මේ දිනවල මට මඩ ප්‍රහාර ෆේස්බුක්වල ගහලා තියෙනවා. මං ඒවගෙන් සැලෙන්නේ නෑ. හේතුව පක්ෂයක් වගකීමක් දුන්නට පස්සේ ඒ වගකීම ඉෂ්ට කරනවා මිසක මඩ ප්‍රහාරවලට කුමන්ත්‍රණවලට බයේ මගේ ක්‍රියාකාරකම් මං හකුළා ගන්නෙ නැහැ.

මේ වන විට ඔබේ පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරු කී දෙනෙක් ඉන්නවාද?

21යි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පොහොට්ටුවේ සමාජිකත්වය ගත් බවට දේශපාලන වේදිකාවේ චෝදනා එල්ල වෙනවා. එසේ නම් ඔබලාට හොඳ අවස්ථාවක් තිබෙනවා නේද එම මන්ත්‍රි ධුර ඉවත් කොට ශ්‍රී ලනිප මන්ත්‍රි ධුර ප්‍රමාණය ලබාගැනීමට?

මං පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට විනය පරීක්ෂණ පැවැත්විය යුතුයි කියලා කිව්වේ මීට අවුරුදු තුන හමාරකට කලින්. ඒ එදා ඔවුන් අප සමඟ විරුද්ධ මතවාදයක නොසිටි නිසා. දැන් ඔවුන් අද අප සමඟ එක මතයකට ඇවිත් සිටිනවා. දැන් අපි ඉන්නෙ එක කඳවුරක. කඳවුර ඇතුළේ ගහගන්න බෑ අපිට. මේක හරියට දේවාලෙට ගිහින් දේවාලේ ඇතුළේ ගහගෙන දේවාලෙ ඇඟ උඩට වට්ටා ගන්නවා වගේ වැඩක්. ඒ නිසා ඒකට මං සූදනම් නැහැ. හැබැයි අපේ පක්ෂය අතහැරලා ගිහින් එජාපයට සහාය දෙන්න ගිය කට්ටිය වෙනුවෙන් ඒ අයට විරුද්ධව විනය පියවරක් දැන් ගන්න ඕනෑ. ඒක තව අවුරුද්දකින් සමහර විට වලංගු වෙන්නෙ නැති වෙයි.

විනය පියවර ගන්න වෙයි කියලා කියන්නේ. ඔබ මහ ලේකම් හැටියට ඍජු පිළිතුරක් දිය යුතුයි නේද?

ඔව්. ඒ අයට විරුද්ධව කඩිනම් විනය පියවර ගැනීමට මම එකඟයි. ඒක වර්තමානයේ ගත යුතු තීරණයක්. හැබැයි ගිය අය අපේ් පැත්තට ආවොත් ඔවුන් ඉතාම ආදරයෙන් පිළිඅරගෙන අපි ඔක්කොම ඔවුන් සමඟ එකට වැඩ කරන්න ඕන.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලනිපයෙ මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර නොදීමට බලපෑ හේතු මොනවාද?

පක්ෂය විසින් ජනාධිපතිතුªමත්, මධ්‍යම කාරක සභාවත් දැඩි ලෙස එය තීන්දුවක් ලෙස ගත්තා. එය යෝජනාවක් ලෙස සම්මත වුණා. පක්ෂයෙන් එජාපයට සහයෝගය දෙන්න ගිය කට්ටියට විරුද්ධව අනිවාර්යෙන් විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ, පළමුවැනි එක. දෙවැනි කාරණය ඔවුන්ට ඇමැතිකම් දිය යුතු නැහැ කියන එක. ඒක පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක්. ඒකට එරෙහිව යන්න ජනාධිපතිතුමාටවත් බැහැ. එතුමා පක්ෂ නායකයා ලෙස එතුමාට කවුරු මොනවා කිව්වත් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් එතුමා බැඳිලා ඉන්නවා.

නමුත් පසුගිය දිනවල එජාපයෙන් ආ අයට ඇමැතිකම් දෙන්න ජනාධිපතිවරයා තීරණය කළා. මේකෙන් හැඟෙන්නේ ජනාධිපතිගේ තීරණ පක්ෂ දේශපාලනයට උපයෝගි කරගන්නා බවක් නේද?

ඒ කාලේ පක්ෂය එවැනි තීන්දුවක් අරගෙන තිබුණෙ නෑනේ. ඒ තීන්දුව එදා ගන්න තිබුණෙ එජාපයෙන්.

ජනාධිපතිවරයා කෙරේ විශ්වාසය තබලා එදා ශ්‍රී ලනිපයේ 16 කණ්ඩායම ආණ්ඩුවෙන් එළියට ආවේ. ඒ අයට ඇමැතිකම් නොදී ජනාධිපති කැබිනට් ඇමැති ධුර දෙකක බලය හොබවනවා. ඒක සාදාචාර සම්පන්නද?

ඒක 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා. ආරක්ෂක හා මහවැලි සංවර්ධන ඇමැති ධුර දෙක ජනපතිට තියෙනවා.

මං අහන්නෙ එහි ව්‍යවස්ථානුකූලභාවය නෙවෙයි. දේශපාලන සදාචාරසම්පන්න භාවය ගැන?

ඉතින් ව්‍යවස්ථාවෙන් දීලා තියෙනවා නම් අමාත්‍ය ධුර දෙකක් දරන්න පුළුවන් කියලා. එහි සාදාචාරය ගැන ඇයි කතා කරන්නේ?

ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා. ආණ්ඩුවේ ප්‍රධානියා. ඇමැති ධුර දෙකකුත් හොබවනවා. එසේ තිබියදී ඔහුගේ පක්ෂයටම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම දුන්නා. ඇයි මේ අවුල ගැන කතා නොකරන්නෙ?

ඉතින් ඕකම 2015 ජනවාරි 8දා සිට අගෝස්තු දක්වා සිදුවුණානේ එතකොට සදාචාරය ගැන කවුරුත් කතාකළේ නෑනේ.

නමුත් හැලහැප්පීම් සමඟ අද දේශපාලන තත්ත්වය එදාට වඩා වෙනස් වෙලා තිබෙනවා?

නෑ. මේ තත්ත්වයම තමයි. ජනාධිපතිතුමා එක පක්ෂයක විපක්ෂ නායක ඒ පක්ෂයේම. එතුමා ආණ්ඩුවත් කරනවා. යම් වෙනසක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලයක් තියෙනවා නම් ජනාධිපතිට ඇමැති ධුර 2ක් දරන්න පුළුවන් කියලා, ඒක කරන්න පුළුවන්.

එතුමා ඉන්නෙ දැන් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂයක නායකයකු ලෙස නෙවෙයි. එතුමා තාම ජනාධිපති ලෙස වැඩ කරනවා. ඊට අමතරව එතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේත්, ශ්‍රී ලනිපයේත් නායකයා.

සංස්ථා සහ මණ්ඩලවලට සභාපති ධුර පත් කිරිමේදි සීමා මායිම් ඇතුලත් චක්‍රලේඛයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළා. නමුත් බොහෝ ආයතනවල සභාපතිවරු පත් කිරීමේ බලය තිබෙන්නෙ අමාත්‍යවරුන්ට. මෙයින් පෙන්නුම් කරන්නෙ එජාපය සමඟ ඇති අළුයට ගිනි වැඩි වෙලා වගේ නේද?

නෑ. ඒක බොරු කතාවක්. සාමාන්‍යයෙන් ඉතිහාසයේ ඉඳලම හැම ජනාධිපතිවරයෙක් යටතේ ඉඳලම ඉහළ නිලතලවලට පත් කිරීමේදී කමිටුවක් පත් කරලා තිබුණා.

ඒක පසුගිය කාලේ ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි අපේ මේ දින 50 ආණ්ඩුව හදනකොටත් ජනාධිපතිතුමා කිව්වා ඒ කමිටුවට කරුණාකර නම් එවන්න කියලා. කාටවත් පත් කරන්න දුන්නෙ නෑ එතුමා. ඒ ක්‍රියාදාමයම තමයි දැනුත් එතුමා අනුගමනය කරමින් යන්නෙ.

ඒ වගේම එජාපය ජනාධිපතිවරයා නොමැතිව පෙර කැබිනට් මණ්ඩලයක් රැස්වෙලා ඒ ගන්න තීන්දු අනතුරුව ජනාධිපති සමඟ සාකච්ඡා කරන්නේ. එජාපය පැත්තෙනුත් ජනාධිපති මෛත්‍රි නොසලකා හැරීමේ එක් ක්‍රියාවක් නේද මේ සිදු වෙන්නේ

අපිත් ඉස්සර ශ්‍රී ලනිපය ඒ විදියට වෙනම රැස්වෙලා කතා කළා. මොනවද අද කතා කරන්නෙ අපේ කැබිනට් පත්‍රිකාවලට මොනවද විරුද්ධ වන්න තියෙන්නෙ වගේ දේවල් අපි කතා කරනවා. පක්ෂ දෙකක් වැඩ කරන කොට එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නෙ. ගිය සතියෙත් පළමු කැබිනට් එකේදීම මංගල ඇමැතිතුමාත් රවි කරුණානායක ඇමැතිතුමාත් රණ්ඩු වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති කරගන්න ඒ අයට වුවමනා නැතිව ඇති. ඒ එකමුතුභාවය පෙන්නන්න වෙන්න ඇති මං හිතන්නෙ එහෙම පෙර කැබිනට් එකක් තියෙන්නෙ.

එවැනි පෙර කැබිනට් රැස්වීමක් ඔබ දකින්නෙ කොහොමද? අනුමත කරනවද?

අනුමත කරන්න බෑ. හැබැයි දේශපාලන මණ්ඩලය තීන්දුවක් ගත්තොත් අපිට ඒකට මොකුත් කියන්නත් බැහැ. මොකද එකම ආණ්ඩුවක් තුළ නෙමේනේ මේ ඉන්නෙ.

නමුත් එවැනි හමුවීම් තුළ රටට අහිතකර තීන්දු ගත්තම, මං උදාහරණයක් කියන්නම්

පසුගිය දිනවල එජාපය විසින් ආණ්ඩුවට එරෙහිව මාධ්‍යකරණයේ නියැළෙන මාධ්‍ය ආයතනවලට ආණ්ඩුවේ දැන්වීම් නොදෙන්න තීරණයක් ගෙන තිබෙනවා. එවැනි දේවල් සිදුවෙන්න ඉඩ දිය යුතුද?

ඒවගේ ප්‍රතිඵල ඒ අයට හම්බ වෙයි. හේතුව මේ ක්‍රියාදාමයේදී මේ ආණ්ඩුව වැඩ කරන ක්‍රියාදාමය කොයි තරම් නපුරුද කියන එක කොහොමද කියන එකයි ඔය හෙළි වෙන්නෙ. විත්තියේ හඬ සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කැපවීම ඔවුන් එළියට පෙන්නුවට අභ්‍යන්තරයේ ඔවුන්ගේ තියෙන්නෙ ඒකට බොහොම විරෝධාකල්ප මතයක්. ඔවුන් කැමැති නෑ ඔවුන්ට විරුද්ධව විවේචන ඉදිරිපත් කරන කිසිදු මාධ්‍යකට.

මෙය ජාතික ආණ්ඩුවක් නොවන බව ඔබ පිළිගන්නවද?

ඔව්.

එසේනම් තවදුරටත් ජනාධිපති හා එජාප ආණ්ඩුව අතර මේ මතුවෙන ගැටුමෙන් රට තව තවත් අරාජික වීමට ඉඩ දීම සාධාරණද?

ඒක තමයි. වහාම ඒකට විසඳුම ලෙස අපි කිව්වා මහ මැතිවරණයක් තියන්න කියලා. රටේ ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් එය නැවැත්තුවා. මේ අරාජිකත්වය නිසා තමයි අපි කිව්වේ කවුරුන් හරි කමක් නෑ එන ආණ්ඩුවක් ස්ථාවර ආණ්ඩුවක් ගෙනියන්න ඉඩ තියන්න කියලා.

එජාපය සමඟ වන ගැටුම ජනාධිපතිගේ දැනුවත්භාවය මත නේද ඉදිරියටත් පවත්වාගෙන යන්නෙ?

එවැනි ගැටුම් තිබුණා. තවත් ගැටුම්වලට යන්න ජනාධිපතිතුමාට ඕනෑකමක් නැහැ. ඒ ආණ්ඩුවට යන්න නොදී එතුමා කකුලෙන් අදින්නෙ නෑනෙ.

මේ වසර ජනාධිපතිවරණයකට නියමිත වසරක්. තව ජනවරමක් ගැනීමට ජනාධිපතිට මැතිවරණයක් කැඳවිය හැකියි?

ඒක ජනාධිපතිතුමා තීරණය කළ යුතුයි. එතුමා ලබන පාරත් ඉල්ලනවා නම් පමණක් එතුමට කැඳවන්න පුළුවන්. ඉල්ලන්නෙ නැත්නම් එතුමට කැඳවන්න අයිතියක් නැහැ.

කවර අපේක්ෂකයා ඉදිරිපත් කළත් අපි ඉතිහාසය පුරා දැක්කේ ශ්‍රී ලනිප අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම. මෙවර එය නොවිය හැකිද?

ඒක කියන්න බැහැ. අපි අනාගතේ බලන්න ඕනෑ. ශ්‍රී ලනිපය විදිහට අපේ නායකයා තවමත් ජනාධිපති. එතුමාගෙන් අහන්න ඕනෑ කැමැතිද අකැමැතිද කියලා. එතුමා අපේක්ෂකයා ලෙස එන්න සූදානමක් තියෙනවා කියලා තවම අපට කියලා නැහැ. ඊළඟට කල්පනා කරන්න ඕනෑ එතුමා එනවා නම් අපි කොහොමද වැඩ කරන්නෙ ඒකට කියලා. නැත්නම් කවුද අපි ඉදිරිපත් කරන්නෙ කියලා.

ඒක රහසක් විදිහටද දැනට තියාගෙන ඉන්නෙ?

රහසක් නෙමේ. ජනාධිපති
අපේක්ෂකයා කවුද කියලා මේ වනතුරු කවුරුත් තීරණය කරලා නෑ. එජාපයවත් ඉදිරිපත් කරලා නැහැ. ඉතින් තව ඒකට මාස 8ක්, 9ක් තියෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා සන්ධානගතව යෑම ගමනට ශක්තියක් කියලා. ඔබ එකඟද ඔහුගේ ප්‍රකාශයට?

ශ්‍රී ලනිප අපි හැමදාම ඡන්දෙට ගියේ සන්ධානගත වී. 1964 විතරයි ශ්‍රී ලනිපය තනියම ඡන්දෙ ඉල්ලුවේ. ඒ නිසා ශ්‍රී ලනිපය ප්‍රමුඛ සන්ධානය සන්ධානගත වනවයි කියන්නෙ මං හිතන්නෙ දැවැන්ත එකමුතුවක ප්‍රතිඵලයක්. ඒක ලොකු දෙයක්.

හිටපු ශ්‍රී ලනිප මහලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කළා මෛත්‍රි ඔහුගේ අපේක්ෂකයා කියලා?

ඒකයි මං කිව්වේ. නිකම් බොරුවට මේ මෛත්‍රිපාල මහත්තයා මගේ අපේක්ෂකයා මේ අපේක්ෂකයා කියලා රණ්ඩු කරගන්න නෙමෙයි අවශ්‍ය. වැදගත් වෙන්නෙ ඒක අපේ මුළු සන්ධනයේම නායකයා බවට එතුමා පත්කර ගැනීමනේ. මටත් නිකම් පාර දිගේ කිය කිය යන්න පුළුවන් මෛත්‍රි මහත්තයා අපේක්ෂකයා කරන්න ඕනෑ කියලා.

පක්ෂ එකමුතුව ගැන සැකයිද?

නෑ. අපි ප්‍රායෝගික ඒ ඒ මූලෝපායයන් ටික සකස් කරන්න එපැයි. ප්‍රබල පක්ෂයක් වූ කාලයක වුණත් අපි එහෙම කිව්වේ නෑ. මොකද අනෙක් පක්ෂවල එකඟතාවන් ගන්න ඕනෑ. මේක සම්පූර්ණ සන්ධානයක්නෙ.
සන්ධානයක අනෙක් පක්ෂ එකතු වෙන්නෙ නැතුව අපිට අපේක්ෂකයකු නම් කරන එක මං හිතන්නෙ සදාචාරසම්පන්න නැහැ කියලා.

ඒ වගේම මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ සම්පූර්ණ වාර්තාව ජනාධිපතිවරයා විසින් එළියට දැම්මෙ නැති චෝදනාව නැවත මතු වෙනවා. මෙය එළියට නොදා ඉන්නෙ ජනපති නැවත එජාපය සමඟ සන්ධානගතව මැතිවරණයකට යෑමටද කියලා ඇතැම් පාර්ශ්ව සැක පළ කරනවා?

එය මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. බැඳුම්කර වාර්තාවේ සියලු කරුණු ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒක නවත්තලා තියෙන්නෙ සමහර කරුණු අධිකරණයේ තියෙන කාරණා නිසා. එතුමා ඒවා එළියට දාන්නෙ නෑ කියලා කථානායකතුමා එය පැහැදිලිව කිව්වා.

හැබැයි ඕන කෙනකුට දැන් ගිහින් බලන්න පුළුවන් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන්. ඒ නිසා මේ බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයා විසින් හංගාගෙන ඉන්න එකක් නෙමෙයි. ඉතින් මේක අහන්න ඕනෑ කථානායකතුමාගෙන්.

එජාපයේ බලපෑම මේ වාර්තාවට ඇත්තෙම නැද්ද?

මං හිතනවා. ඒ නිසානේ දැනටමත් අර්ජුන මහෙන්ද්‍රන් ගෙන්නන්නෙ නැතිව ඉන්නේ. ඒ වගේම මේ සිද්ධි වාර්තා කරයි කියලා මාධ්‍යට සම්පූර්ණ තර්ජන තිබුණේ. පරීක්ෂණ යද්දි ඒවා එළියට දාපු පොලිස් නිලධාරීන් ගෙන්නලා තර්ජනය කළේ. එවැනි සම්බන්ධයක් නැතිව මෙහෙම වෙන්නෙ නෑනේ.

සංවාදය - අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon