ඉදිකිරීම් කඩිනම් කරන ලෙස තලතාගෙන් නිලධාරීන්ට උපදෙස්

  👤  889 readers have read this article !
By mawbima 2019-01-11

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක

ඉදිකරමින් පවතින මුලතිව් හා මාන්කුලම් අධිකරණ සංකීර්ණයන්හි ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන්නැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

උතුරු පළාතට බලපෑ ගංවතුර උවදුර හේතුවෙන් විපතට පත්වූ ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ උපකරණ බෙදාදීමේ අවස්ථාවට පසුගියදා (04දා) ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනින් අනතුරුව අමාත්‍යවරිය මාන්කුලම් අධිකරණ සංකීර්ණයන්හි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට එක්වෙමින් නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නාය.

මුලතිව් අධිකරණ සංකීර්ණයේද ඉදිකිරීම් නිරික්ෂණය කළ අමාත්‍යවරිය සඳහන් කළේ ප්‍රදේශයේ ජනතාවගේ අධිකරණ පහසුකම් කඩිනමින් විධිමත්ව ලබාදීම සඳහා අවශ්‍යව ඇති බැවින් ඉදිකිරීම් කඩිනම් කරන ලෙසයි.

මුලතිව් අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම සඳහා 2017.10.01 වැනිදා මුල්ගල තබා ඇති අතර 2020 වසරේ 04.01 වැනිදා එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා රුපියල් ලක්‍ෂ 408ක පමණ මුදලක් වැය කිරීමට නියමිතය.

මේ අතර මාන්කුලම් අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම්ද නිරීක්ෂණය කළ අමාත්‍යවරිය එහි අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමට කටයුතු කළාය. අමාත්‍යවරිය එහිදී සඳහන් කළේ අධිකරණ සංකීර්ණය තුළ ස්ථාපිත කිරීමට නියමිත නීති ආධාර කාර්යාලය, නීතිඥ සංකීර්ණ කාර්යාල හා අනෙකුත් අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

මාන්කුලම් අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 396ක් වැය කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් මෙම වසරේ අවසන් කිරීමට නියමිතව තිබේ. අධිකරණ සංකීර්ණ ඉදිකිරීම හේතුවෙන් අධිකරණ කලාප වෙන් කිරීමේදී මතුව ඇති ගැටලු නිවැරැදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon