NGO නඩයේ සාමාජිකාවක් ‘මව්බිම’ ඡායාරූප ශිල්පියාට තර්ජනය කරමින්

  👤  2905 readers have read this article !
By mawbima 2019-01-11

ජඩ මාධ්‍යකරණයට එරෙහිව සහ මාධ්‍ය ආයතන ස්වාධීන විය යුත්තේ කෙසේද යන්න පවසමින් මාධ්‍ය ආයතන වෙත ඊයේ (10දා) පැමිණි රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවක ක්‍රියාකාරිකයන් පිරිසක් මාධ්‍ය ආයතන ස්වාධීන කිරීම පසෙකලා මාධ්‍යවේදීන්ට තර්ජනය කරනු දක්නට ලැබිණි. එම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් පිරිස මාධ්‍ය ආයතන ගණනාවකට ඊයේ (10දා) පැමිණි අතර 'මව්බිම' සහ 'සිලෝන්ටුඩේ' පුවත්පත් ආයතනය වෙත පැමිණිවිට එම අවස්ථාව ඡායාරූපගත කරමින් සිටි 'මව්බිම' ඡායාරූප මාධ්‍යවේදියකුට තම රාජකාරිය කිරීමට බාධා කරමින් මෙම රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ ක්‍රියාකාරිනියක් 'හැබිචෝල්කාරියක' ලෙස හැසුරුණු ආකාරයක් දක්නට ලැබිණි.


'මව්බිම' සහ 'සිලෝන්ටුඩේ' මාධ්‍ය ආයතනය වෙත පැමිණි මෙම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිස එම කාර්යාලය ඉදිරිපිට බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිටින අවස්ථාව ඡායාරූපගත කරමින් සිටි මාධ්‍යවේදියාට විරෝධයට සම්බන්ධ වී සිටි කාන්තාවක් පැවැසුවේ 'මහජනතාවයි මාධ්‍ය මුදලාලිලායි' යනුවෙනි.


එවිට එම කාන්තාවගේ ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම කාන්තාව ඡායාරූප මාධ්‍යවේදියාගේ ජනමාධ්‍ය හැඳුනුම්පත ඉල්ලා තර්ජනය කළාය. නමුත් ඊට එරෙහිව ඡායාරූප මාධ්‍යවේදියා පැවැසුවේ 'ඔයා කවුද මගේ ජනමාධ්‍ය හැඳුනුම්පත ඉල්ලන්න?' යනුවෙනි. පසුව එම කාන්තාව අදාළ මාධ්‍යවේදියාගේ ඡායාරූපයක් ලබා ගත්තාය.

එවිටම රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයකු පැමිණ අදාළ කාන්තාව එම ස්ථානයෙන් ඉවතට රැගෙන යනු ලැබීය. මෙම තර්ජනයට ලක්වූයේ ඡායාරූප මාධ්‍යවේදී සරත් කුමාර මහතායි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඡායාරූප මාධ්‍යවේදී සරත් කුමාර මහතා පැවැසුවේ විරෝධය පළ කරන්නට 'මව්බිම' සහ 'සිලෝන්ටුඩේ' මාධ්‍ය ආයතනයට පැමිණි රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ කාන්තාවක් තම රාජකාරියට බාධා කරමින් ආරවුලක් ඇති කර ගත් බවයි.


මේ සම්බන්ධයෙන් සරත් කුමාර මහතා කුරුඳුවත්ත පොලිසියට ඊයේ (10දා) පස්වරුවේ පැමිණිල්ලක්ද කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon