ඇන්ටනෝව් යානයට මිසයිල ගැසූ කොටි දෙදෙනාට වසර 185ක සිරදඬුවමක්

  👤  2522 readers have read this article !
By mawbima 2019-01-11

පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටෙනෝව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර එම ගුවන් යානය බිම හෙළා එහි සිටි යුද, ගුවන්, නාවික හා පොලිස් ආරක්ෂක අංශ සාමාජිකයන් සහ යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා ඇතුළු 37 දෙනකු මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි එල්ටීටීඊ සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබල සාමාජිකයන් දෙදෙනකුට වෙන් වෙන් වශයෙන් වසර 185 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි.


ඒ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (10දා) ලබාදුන් නියෝගයකට අනුවය. මෙම විත්තිකරුවන් දෙදෙනාට නීතිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් නඟා තිබූ අධි චෝදනා තිස් හතටම (37) ඔවුන් දෙදෙනා විවෘත අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව එක් චෝදනාවකට වසර 5 බැගින් මෙසේ වසර 185 බැගින් වෙන් වෙන්ව බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබීය. විත්තිකරුවන්ට මෙම සිරදඬුවම් නියම වූයේ ඔවුන් අඛණ්ඩව වසර අටක කාලයක් බන්ධනාගාරගතව සිටින අතරතුර වීම විශේෂත්වයකි.


විත්තිකරුවන්ට වෙන් වෙන්ව නියම කෙරුණු මෙම වසර 185 බැගින් වූ සිරදඬුවම් කාලය වසර පහකින් එකවර ගෙවී යන ලෙසට ක්‍රියාත්මක කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කළේය. විල්පත්තුව ජාතික වන උයනේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර එම ගුවන් යානය විනාශ කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබල කොටි සාමාජිකයකු වන ඉරාෂතුරෙයි ජෙගන් නමැති විත්තිකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී තිබූ පාපෝච්චාරණය නීත්‍යනුකූලද? නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා අනුරාධපුර මහාධිකරණයේදී මීට පෙර දීර්ඝ නඩු විභාගයක් පැවැතිණි.


එහි තීන්දුව මීට පෙර ලබාදෙමින් මහාධිකරණය තීරණය කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට මෙම විත්තිකරු මීට පෙර ලබාදී ඇති පාපෝච්චාරණය නීත්‍යනුකුල බවයි. මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස අධිචෝදනා ලබා සිටි කොටි සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබලයකු වන නල්ලාමි ශිවලිංගම් යන අයද මෙම ප්‍රහාරය එල්ල කර ගුවන් යානය විනාශ කළේ තමන් විසින් බවට පිළිගනිමින් මීට වසර කිහිපයකට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබා දී ඇති පාපෝච්චාරණයද අනුරාධපුර මහාධිකරණයේ හිටපු විනිසුරු හා ගම්පහ පළාත්බද වත්මන් මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් නීත්‍යනුකූල එකක් බවට අධිකරණයේදී මීට පෙර පිළි ගත්තාය.


කොටි ත්‍රස්තවාදීන් විසින් විල්පත්තුව ජාතික වන උයනේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටෙනෝව් 32 වර්ගයේ ගුවන් යානයක් තලාව - වීරවැව ප්‍රදේශයට බිම හෙළා විනාශ කිරීම හේතුවෙන් එම යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා, ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 37 දෙනකු මරණයට පත්විය. බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූයේ යාපනය මර්කඩි පටුමඟ අංක 29/4 ලිපිනයේ ඉරාසතුරෙයි ජෙගන් නොහොත් පූලවන් සහ යාපනය පිරිඩිඩි දකුණ නිර්වේලි ලිපිනයේ නල්ලාම් සිවලිංගම් නොහොත් සින්නතිලකන් යන එල්ටීටීඊ සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබල කොටි සාමාජිකයන් දෙදෙනාටය.

2000 වසරේ මාර්තු මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයක පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටෙනෝව් 32 ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ගසා එම ගුවන් යානය තලාව - වීරවැව ප්‍රදේශයට බිම හෙළා ගුවන් යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා මෙන්ම යුද හමුදා ලුතිනන්වරුන් වන ඒ. රෝහණ රුවන් අමරසේකර, කේ. උදිත් සඳුන් ජයතිලක, එම්.එම් දිමුතු ආසිරි සහ එම්.කේ. ආනන්ද ෂමින්ද සිල්වා සහ යුද, ගුවන්, නාවික සහ පොලිස් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 32 දෙනකු මරණයට පත් කළැයි මෙම විත්තිකාර කොටි මිසයිල බළගණයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් 1988 අංක 22 සහ 1982 අංක 10 දරන පනත්වලින් සංශෝධිත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලිව විධිවිධාන) පනතේ 2 (1) (අ) වගන්ති ප්‍රකාර පනතේ 2 (2) (1) වගන්ති යටතේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.


පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටි අතර පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා පෙනී සිටි අතර දෙවැනි විත්තිකරු වෙනුවෙන් රජයෙන් පත් කළ නීතිඥ විනෝදනී ලංකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.


මෙම විත්තිකරුවන් වෙනුවෙන් මුල් අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතාය. මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon