විරෝධතාව පිළිකුලෙන් හෙළා දකිනවා

  👤  2559 readers have read this article !
By mawbima 2019-01-11

ශිරාන් රණසිංහ

මේ රටේ පිළිගත් මාධ්‍ය ආයතනවල ප්‍රමිතිය, ඒ අයගේ මාධ්‍ය හැසිරීම් සකසා ගත යුත්තේ ඒ ඒ මාධ්‍ය ආයතන විසින් බවත් ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති පරම පිවිතුරු අයිතියට බාධා කරමින් එක්තරා පිරිසක් විසින් ඊයේ (10දා) මාධ්‍ය ආයතනවලට වැදී කළ තර්ජන ගර්ජන පිළිකුලෙන් යුක්තව හෙළා දකින බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා 'මව්බිම'ට පැවැසීය.

'මව්බිම', සිරස ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකට පැමිණ ඊයේ (10දා) එල්ල කළ විරෝධතා හා තර්ජන ගර්ජන සම්බන්ධව සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් ඒ මහතා ඒ බව කියා සිටියේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.


ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ තිබිය යුතු අනිවාර්ය ලක්ෂණයක්. එක්තරා කණ්ඩායමක් 'මව්බිම', සිරස, ලංකාදීප ඇතුළු මේ රටේ පිළිගත් මාධ්‍ය ආයතනවලට ඊයේ (10දා) කඩා වැදී කළ එම විරෝධතාව මම ඉතා පිළිකුලෙන් යුක්තව හෙළා දකිනවා.


මෙම පිරිස එම මාධ්‍ය ආයතනවලට එරෙහිව, ඔවුනගේ අනන්‍යතාවට එරෙහිව තර්ජන, ගර්ජන කිරීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයටත්, මාධ්‍ය නිදහසටත් එල්ල වූ මරු පහරක් ලෙසයි මා දකින්නෙ.


ප්‍රජාතන්ත්‍රවාදය, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය කිසිවකුට උදුරා ගැනීමට ඉඩදිය යුතු නෑ. මහජන නියෝජිතයෙක් ලෙසත් මහජන සේවකයකු ලෙසත් මාධ්‍යවලට මේ එල්ල වූ තර්ජනය මා අනුමත කරන්නේ නෑ. එපමණක් නොවෙයි, මෙවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතැබිය යුතු බව මගේ විශ්වාසයයි.
රටේ මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ යුතුකම පාලන තන්ත්‍රය සතු දෙයක්.


2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව අලුත් බලාපොරොත්තුවක් ඇතිව ජනතා තීන්දුවක් ලබා දුන්නා. 2015 ජනවාරි 08ට පෙර තිබූ තැනට රටත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ගෙන යනු දැකීම ජනතා පැතුම නොවෙයි.


එනිසා රජයක් ලෙස ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත්, තොරතුරු දැන ගැනීමට ඇති පරම අයිතියත් සුරක්ෂිත කළ යුතුයි.
ඒ ඒ මාධ්‍ය ආයතනවල ප්‍රමිතිය ඒ ආයතන විසින් සකසා ගත යුතුයි. රජයක් ලෙස එවැනි ප්‍රමිති සහගත, උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීම රජයේ වගකීමයි.


2015 ජනවාරි 08 වැනිදායින් පසු මේ රටේ මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට අප විශාල වැඩ කොටසක් ඉටු කළා. මේ රටේ මාධ්‍යවලට ඒ අනුව අසීමිත නිදහසක් මේ වනවිට ලැබිලා තියෙන බව කවුරුත් දන්නවා.


මේ රටේ පිළිගත් මාධ්‍ය ආයතනවලට පැමිණ තර්ජන ගර්ජන කරමින් බලපෑම් එල්ල කළ පිරිසකගේ කියා කලාපය පිළිකුල් සහගතයි. එය නැවත නැවතත් හෙළා දකිනවා. මාධ්‍ය නිදහසට බාධා එල්ල කරමින් සිදුකළ මේ ක්‍රියාව මහජන නියෝජිතයෙක් ලෙසත් සමාජ සේවකයෙක් ලෙසත් මා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon