ශ්‍රී ලංකාවේ ළාබාලතම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරිය වාසනා උසස් පෙළ උසස් ලෙස සමත් වෙයි

  👤  2747 readers have read this article !
By mawbima 2019-01-11

ඉමදුව - ටී. විතානවසම්

තවමත් 21 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකාවේ ළාබාලතම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරිය වශයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ කටයුතු කරමින් මෙවර පැවැති උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබාගනිමින් විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට කනංකේ ගල්ලල පදිංචි මොරවක හේවගේ වාසනා නයන මධුෂා සමත් වී තිබේ. මේ ඇයගේ කතාවයි.

තිදෙනකුගෙන් යුත් පවුලේ සාමාජිකයකු වූ ඇයට වැඩිමහල් සහෝදරයකු සහ බාල සහෝදරියක් සිටී. පියා තේ වගාකරුවකු වන අතර මව ගෘහනියකි. තම ප්‍රාථමික අධ්‍යාපනය මාර/කනංකේ ආදර්ශ විද්‍යාලයෙන් ලබා ඇති මධූෂා ද්විතීයික අධ්‍යාපනය හැදෑරීම සඳහා ගා/බටේමුල්ල ජාතික පාසලට ඇතුළත් වී තිබේ. එහිදී සාමාන්‍ය පෙළ සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිට තිබේ. පසුව 2018 පළාත් පාලන මැතිවරණය සඳහා අකුරැස්ස මැතිවරණ ආසනයේ නිමලව කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වී ඇති ඇය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් එම කොට්ඨාසයේ මන්ත්‍රිවරිය ලෙස තේරී පත්ව ඇත. මේ අවධියේම ඇය දෙවැනිවර අපොස උසස් පෙළ විභාගයට බාහිර අපේක්ෂිකාවක ලෙස මුහුණ දී මෙම සාමාර්ථය ලබාගෙන තිබේ.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් මධූෂා මෙනෙවිය මෙසේ පැවැසුවාය.

මම දේශපාලන විද්‍යාව උසස් පෙළ සඳහා හැදෑරීම හේතුවෙන් සහ අපේ පවුලේ පැවැති දේශපාලන පසුබිම මත මම තීරණය කළා පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට. මට මේ සඳහා වර්තමාන කර්මාන්ත සහ වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාගේ පූර්ණ ආශීර්වාදය ලැබුණා. පසුව මට අවශ්‍ය වී තිබුණා මගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් ඉදිරියට සිදුකරගෙන ගොස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උපාධියක් ලබාගැනීමට. ඒ අනුව මම දෙවැනිවර උසස් පෙළ විභාගයට පෙනී සිටියා බාහිර අපේක්ෂිකාවක් ලෙස. මට විශිෂ්ට සම්මානයක් සහ අධිසම්මාන දෙකක් ලබා ගැනීමට හැකි වුණා.

ඇත්තෙන්ම මම මේ ජයග්‍රහණය ලබාගත්තේ මාගේ දේශපාලන සහ සමාජීය වැඩ කටයුතු මධ්‍යයේමයි. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට මාගේ මවුපියන්, සහෝදරයා සහ සහෝදරියගෙන් ලැබුණු අනුග්‍රහය අපමණයි. ඒ වගේම මේ අවස්ථාවේදී මා ඉගෙනුම ලැබූ පාසල්වල මට අධ්‍යාපනය ලබාදුන් විදුහල්පතිවරුන්ට සහ ගුරු භවතුන්ට මාගේ ප්‍රණාමය පුදකිරීමට කැමැතියි. ඒ වගේම මට උපකාරක පන්ති පවත්වා මාගේ ජයග්‍රහණයට මහඟු අත්වැලක් සැපයූ විපුල් රනේපුර මහතා, කල්ප නානායක්කාර මහතා, තිලක් ජයවර්ධන මහතා ඇතුළු ගුරු භවතුන්ට මාගේ භක්ත්‍යාදරය පළ කිරීමට කැමැතියි.

මාගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් සාර්ථකව සිදු කර නීතිඥවරියක් වී රටට සේවය කිරීම මාගේ අරමුණයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon