කැන්දවින්නේ ගිනි අවි ගැටුමක්

  👤  2565 readers have read this article !
By mawbima 2019-01-11

මොනරාගල - සංජීව බණ්ඩාර

මැදගම කැන්දවින්න ප්‍රදේශයේදී ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ පුද්ගලයකු පෙරේදා (9දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මැදගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු කැන්දවින්න, කොළොන්ගහලන්ද, බලගස්ආර ප්‍රදේශයේ පදිංචි හතළිස් හතර හැවිරිදි අයකු බව අනාවරණය වී තිබේ.

සැකකරු මැදගම කැන්දවින්න මහගංගොඩ ප්‍රදේශයේ විසිහත් හැවිරිදි අයකු සමඟ පෞද්ගලික ආරවුලක් මත ගැටුමක් හදාගෙන මැදගම කැන්දවින්න ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා අනෙකා එම ගිනි අවිය උදුරාගෙන සැකකරුට පහරදී තිබෙන බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කෙසේ නමුත් ගිනි අවි ආඥා පනතට අනුව පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ගිනි අවියෙන් වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මැදගම පොලිසිය කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (10දා) බිබිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ යන මහතුන්ගේ උපදෙස් හා නියෝග මත මැදගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක විතානාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක චානක විජේරත්න, උප පොලිස් පරීක්ෂක නන්දසිරි මහතා ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon