මිලියන එකසිය විසිපහේ රේගු අල්ලස් නඩුව විභාගයට ගන්නැයි නියෝග

  👤  2629 readers have read this article !
By mawbima 2019-01-11

කේ.එස්. උදයකුමාර්

කොළඹ, පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ආනයනය කරන ලද මෝටර් රථ අමතර කොටස් තොගයක් බදු සහන ලබාදී මුදාහැරීම සඳහා රුපියල් මිලියන 125ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රේගු අධිකාරිවරු හතර දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන 25දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ (10දා) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි උපාලි ගුණරත්න, වසන්ත විමලවීර, උපාලි වික්‍රමසිංහ සහ එස්.පී. ජිනදාස යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා මෙම නඩුව ලබන 25දා විභාගයට ගැනීමට නියෝග කළේය. එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් වෙත සිතාසිද නිකුත් කෙරිණි.

කොළඹ, පංචිකාවත්ත ප්‍රදේශයේ ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා මෝටර් රථ අමතර කොටස් සපයනු ලබන ජී.එච්. බන්දුලසේන නමැත්තකු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබිණි.

2015 වසරේ ජුනි මස 26දා පැමිණිලිකරු විසින් ආනයනය කරන ලද රුපියල් මිලියන 1500ක් පමණ වටිනා මෝටර් රථ අමතර කොටස් තොගයක් බදු සහන ලබාදී මුදාහැරීම සඳහා රුපියල් මිලියන 125ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අධි චෝදනා 14ක් යටතේ අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් හතර දෙනා මේ වන විට අධිකරණය මඟින් ඇප මත මුදාහරිනු ලැබ සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon