මේ තනතුරු බලු පොරය නිසා එජාපයේ සායම යනවා

  👤  2861 readers have read this article !
By mawbima 2019-01-11

තමන්ගේ මේ උත්සාහය අනතුර වෙනුවෙන් මිස තනතුර වෙනුවෙන් නොවේ කියලා එක්සත් ජාතික පක්ෂය පසුගිය දිනවල පෝස්ටරයක් ගැහුවා. පෝස්ටරය සමහර තැන්වල තවම තියෙනවා. පෝස්ටරයේ සායම යන්නත් කලින් එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය සායම යවාගෙන යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා කීවේය.

රටේ පවත්නා දේශපාලන තත්ත්වය පිළිබඳව කළුතරදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීය.

එක්සත් ජාතික පක්ෂය දැන් ඇමැති තනතුර බලු පොරයට වැටිලා. කැබිනට් ඇමැතිකමක් නොලැබුණොත් රංගේ තීරණයක් ගන්නවාලු. මීට වඩා හොඳයි එස්.බී. දෙන්න හදපු කෝටි පනහ අරගෙන එහා පැත්තට පැන්න නම් කියලත් කියනවා.

ඒ අතරතුර හිටපු වනජීවී ඇමැතියි, නියෝජ්‍ය ඇමැතියි වන සත්තු වගේ හැසිරෙන්න පටන් අරගෙන තියෙනවා. ජනතාවගේ බදු මුදල්වලින් කරන කෙරුවාව ෆොන්සේකා - පාලිත කතාවලින් පැහැදිලි වෙනවා. කැබිනට් ඇමැති කාලේ තරු පහේ හෝටල්වලට ගිහිල්ලා කාලා, බීලා උදේ 11 වෙන තුරු නිදා ගත්ත එක කියලා නියෝජ්‍ය ඇමැති කියනවා. නිලධාරීන් සමඟ සාකච්ඡාවට කියලා ඇවිල්ලා නියෝජ්‍ය ඇමැති කළේ අලි නාවපු එකයි කියලා කැබිනට් ඇමැති කියනවා. මේ දෙන්නාම කියන්නේ සහතික ඇත්තයි. මොකද රටේ ජනතාව නොදන්නා බොහෝ දේවල් එකට හිටිය ඒ දෙන්නා දන්නවා.

රටේ ජනතාව ඩීසල් ලීටරයට, පෙට්රල් ලීටරයට, භූමිතෙල් කාලට, සීනි පන්සීයට, පරිප්පු දෙසිය පනහට ගෙවන බදුවලින් මේ ඇමැතිලා, නියෝජ්‍ය ඇමැතිලා වාහන අරගෙන තෙල් ගහන්න, හෝටල්වල නතර වෙන්න, කාර්ය මණ්ඩලවලට පඩි ගෙවන්න වියදම් කරනවා. බදු ගෙවන ජනතාව අව්වට වැස්සට පීඩා විඳිමින් බස්වල, කෝච්චිවල තෙරපිලා යද්දී ඒ බදු මුදල්වලින් මැති, ඇමැතිලා කරන දේවල් ජනතාව දැනගන්න පාලිත - ෆොන්සේකා රණ්ඩුව හොඳ අවස්ථාවක්.

මේ අතර බන්දුල ගුණවර්ධන එයා ඉන්න කඳවුරටම ගැළපෙන ප්‍රකාශයක් කරලා තියෙනවා. අපේ රටේ සාතිශය බහුතරයක් ජනතාව තවම රාජ්‍ය අධ්‍යාපනය ගැන විශ්වාසය තියලා තියෙනවා. පළමු ශේ‍ර්ණියට දරුවන් ඇතුළත් කිරීම, ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ තරම් තරගයක් තියෙන්නේ රජයේ අධ්‍යාපනය තියෙන අධික ඉල්ලුම නිසායි. අවාසනාවකට අධික ඉල්ලුම තියෙන්නේ පාසල් සියයකටත් අඩු සංඛ්‍යාවකටයි. තමන් බලාපොරොත්තු වන පාසලට තමන්ගේ දරුවා ඇතුළත් කරගැනීමට නොහැකි වන මධ්‍යම පාන්තික මවුපියන් ඊළඟට හැරෙන්නේ පෞද්ගලික පාසල් වෙතයි. එවායිනුත් දේශීය විෂය මාලා උගන්වන පෞද්ගලික පාසල් වෙතයි. ඒ අතරතුර තමන් බලාපොරොත්තු වන රජයේ පාසලකට දරුවා ඇතුළත් කර ගැනීමට මවුපියන් උත්සාහ කරනවා. තමන්ගේ දරුවාට හොඳම දේ ලබාදෙන්න මවුපියන් මෙවැනි අහිංසක උත්සාහ ගන්නවා.

රජයේ පාසලකට දරුවා ඇතුළත් කරගැනීමේ මවුපියන්ගේ සිහින බොඳ කළේ මෙතෙක් පාලනය ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ-එක්සත් ජාතික පක්ෂ පාලකයනුයි. ඔවුන් රටේ ජනතාවට සෑහෙන ප්‍රමාණයට රජයේ පාසල් ගොඩනඟලා නැහැ. එම ආණ්ඩුවල හිටිය අධ්‍යාපන අමැතිවරු, මුදල් ඇමැතිවරු, විශේෂයෙන් ඒකට වගකිව යුතුයි. බන්දුල ගුණවර්ධනත් එහෙම හිටිය අධ්‍යාපන ඇමැතිවරයෙක්. ඒ වගේම හිටිය මුදල් නියෝජ්‍ය ඇමැතිවරයෙක්. එවැනි වගකිව යුතු පුද්ගලයෙක් වූ බන්දුල මෙවර අ.පො.ස. උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ඉහළම ලකුණු ගත්ත සිසුවියට ගරහන්න පටන් ගෙන තිබෙනවා. එම සිසුවියගේ පින්තූරයට ඇඟිල්ල දිගු කරමින් ඇගේ දක්ෂතාව හෑල්ලු කරනවා.

පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රතිඵල දිස්ත්‍රික් කුසලතා හා සමස්ත ලංකා කුසලතාවලට ඇතුළත් කිරීම අද, ඊයේ සිදුවූ දෙයක් නොවෙයි. ඔවුන් තුන්වැනි වර විභාගයට පෙනී සිටින අය හෝ පෞද්ගලික අයැදුම්කරුවන් වෙන්න පුළුවන්. පෞද්ගලික පාසලකට ඇතුළත් වෙලා හරි මේ දියණිය විභාගයට ලිව්වේ දේශීය විෂය නිර්දේශයයි. ඒක අගය කළ යුතු වැඩක්. මේ සිද්ධියෙන් එළියට පැන්නෙ බන්දුලලාගේ කුහකකමයි. ඔහුටත් වඩා ඔහු නියෝජනය කරන ග්‍රාම්‍ය වැඩවසම් චින්තනයයි. ප්‍රශ්නයක් දිහා පුළුල්ව බලන්න බැරි පටු මානසිකත්වයයි. මොනතරම් ආචාර්ය උපාධි පට්ටම් තමන්ගේ නම්වලට එකතු කර ගත්තත් ඒ කුහකකම රෙද්ද පල්ලෙන් බේරෙනවා.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon