පාර්ලිමේන්තුවේ ඇති වන ඇතැම් ගැටුම් පාසල් සිසුන්ගේ ගැටුම්වලටත් අන්තයි

  👤  2514 readers have read this article !
By mawbima 2019-01-11

දේශපාලනඥයන් අනෙක් අයට ආදර්ශයක් දිය යුතුයි. අවාසනාවකට අද අපේ පාර්ලිමේන්තුවෙන් රටට එවැනි ආදර්ශයක් දෙන්නේ නෑ. ඇතැම් අවස්ථාවල පාසල් දෙකක සිසුන් අතර ඇති වන ගැටුමට වඩා අන්තයි පාර්ලිමේන්තුවේ ඇති වන ගැටුම්. දේශපාලනඥයෙක් ලෙස රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදෙන්නේ කෙසේදැයි කියා ප්‍රශ්න මතුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කරන්දෙණිය මහා විද්‍යාලයේ 75 වැනි සංවත්සර උළෙලට සමගාමීව ඉදි කළ පාසල් තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවය පෙරේදා (09දා) සහභාගි වෙමිනි.
එහිදී අගමැතිවරයා මෙසේද කීය.

විද්‍යාව, තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයන් කරා ගමන් කිරීමෙන් මේ රටට හොඳ අනාගතයක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. අපේ ඉතිහාසය තුළ ආර්ථිකය ර¼දා පවතින්නේ වී සහ ධාන්‍ය වර්ගවලිනුයි. ඉන් පසුව කුරුඳු හා අනෙක් කුළුබඩු, තේ, රබර්, පොල්, ඇඟලුම් කර්මාන්තය සඳහන් කළ යුතුයි. අප අවුරුදු 10-15 යුද්ධයෙන් පසුබෑමට ලක්වී තිබෙනවා. නමුත් අද අපි ලෝකයේ අනෙක් රටවල් සමඟ තරග කළ යුතුව තිබෙන බැවින් අපි සමාජයේ ඉදිරියට යා යුතුව තිබෙනවා. ලෝකයේ රටවල් අතර දියුණු රටවල් තාක්ෂණය පදනම් කරගත් දැනුම තිබෙන රටවල් බව කිව යුතුයි. ඒ තාක්ෂණය තුළින් මේ පාසල්වල අධ්‍යාපන ආයතන දියුණු කරනවා. දෙවැනුව විශ්වවිද්‍යාල. ඊළඟ වසර කිහිපය තුළ අපේ විද්‍යා ගුරුවරුන් සංඛ්‍යාව වැඩි කර බඳවා ගන්නා ලෙස මම විෂය භාර අමාත්‍යවරයාට පැවැසුවා.

විද්‍යා ගුරුවන්ගේ හිඟයක් ඇති නොවන පරිදි විද්‍යා ගුරුවරුන් හැටියට පුහුණු කර වැඩිපුර බ¼දවා ගැනීමටත් ඒ සමඟම ඉංග්‍රීසි භාෂාව සඳහා ද ගුරුවරුන් බඳවා ගැනීමටත් ඉදිරියේදී කටයුතු කරනවා. විද්‍යාව, ගණිතය, ගුරුවරුන්ගෙන් එය ආරම්භ කරනවා. එසේ කිරීමෙන් සෑම පාසලකටම විද්‍යාව උගැන්වීමේ හැකියාවක් තිබෙනවා. දෙවැනුව විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන සංඛ්‍යාව අපි වැඩි කළ යුතුයි. අද ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ඉන්ජිනේරු සංඛ්‍යාවේ අඩුවක් තිබෙනවා. අද පෞද්ගලික ආයතනවලින් ද උපාධිය ලබා ගන්නා අය සිටිනවා. සමහරු පිටරටින් උපාධිය ලබාගෙන ලංකාවට පැමිණෙනවා. ඒත් ලංකාවේ විද්‍යා තාක්ෂණ දැනුම තියෙන කණ්ඩායම අපි වැඩි කළ යුතුව තියෙනවා. මේ ආණ්ඩුව මඟින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා.

අපි කර්මාන්ත දියුණු කරන අතරතුර ඒ කර්මාන්තවලට අවශ්‍ය තාක්ෂණ දැනුම අරගෙන දෙනවා.

අන්න ඒ හේතුව මත අද අපිට ඇඟලුම් කර්මාන්තය 55%ක් විතර දේශීය ආදායම් ලබලා තිබෙනවා. අපි ආරම්භ කර ඇත්තේ 25%යි. නමුත් අද 55%ක් දක්වා වැඩිවී තිබෙනවා.

අපි පොඩි කාලේ අපිට ඉදිරියෙන් හිටියේ ජපානය පමණයි. දැන් අපිට ඉදිරියෙන් ඇෆ්ගනිස්තානය, ලාඕසය, කාම්බෝජය, මියන්මාරය වගේ රටවල් සිටිනවා. අපි ඉදිරියට යන්න උත්සාහ කළ යුතුයි.පාර්ලිමේන්තුවේ ඇතිවූ මේ සිද්ධීන් වසන් කළ යුතු නැහැ. ඒ පිළිබඳව පුළුල්ව අපේ අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව වැරැදි නිවැරැදි කර ගෙන රටට ආදර්ශයක් ලබා දෙන්නේ කෙසේද කියා බැලිය යුතුයි. මේ සිදුවීම් සම්බන්ධව වැරැද්ද තවමත් පිළිගෙන නැහැ. මෙවැනි පසුබිමක් තුළ දේශපාලනඥයෙක් වශයෙන් අද මා ඔබතුමන්ලාට උපදෙස් දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නය මතුවෙනවා.

පාර්ලිමේන්තුවේ විනය කඩ කළත් ඒ අය සම්බන්ධව ගත යුතු පියවර කුමක්ද කියා අප පුළුල්ව සිතා බැලිය යුතුයි. මහා සංඝ රත්නයට විනය පිටකයක් තිබෙනවා. නමුත් අපට තිබෙන්නේ ස්ථාවර නියෝග. ඒ අනුව එය ආරක්ෂා කරමින් අප ක්‍රියා කළ යුතුයි.

අම්බන්ගොඩ ධර්මදාස සිරිවර්ධන, නියාගම -
සජිත් ප්‍රියන්ත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon