පෞද්ගලික මාධ්‍යවලට එරෙහි කළු උද්ඝෝෂණයට මන්ත්‍රිවරුන්ගේ විරෝධය

  👤  2661 readers have read this article !
By mawbima 2019-01-11

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (11දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ (10දා) දින පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් පළ කරමින් කියා සිටියේ මෙසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනිව බවයි.

පාර්ලිමේන්තුව ඊයේ (10දා) දින රැස්වූයේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට දින පෙ.ව. 10.00 සිට දහවල් 12.30 දක්වා රැස්වන බව කථානායකතුමා නිවේදනය කර තිබෙනවා.

'මේ ආකාරයෙන් කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනියි. දින 3කට කලින්වත් අඩුම ගණනේ දැනුම් දිය යුතුයි. එහෙම නැතිව මෙහෙම හදිසියේ හෙට රැස්වෙන්නේ කොහොමද?' යනුවෙන් නැඟී සිටිමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රශ්න කිරීමත් සමඟම මැතිසබය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

'පක්ෂ නායක රැස්වීමේදී ගත් එකඟතාවකට අනුවයි මෙම කැඳවීම සිදුකරලා තියෙන්නේ. මීට කලිනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙලා තියෙනවා.' යනුවෙන් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

'පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න කියන කාරණය තමයි විමල් වීරවංශ මන්ත්‍රිතුමා පෙන්වලා දුන්නේ' යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය.

'මේක මූලාසනයේ තීන්දුවයි. මෙතැනින් එහාට තවත් මේ කාරණය ගෙනියන්න බැහැ.' යනුවෙන් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කෙළේය.

'එහෙනම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මොකටද?' යනුවෙන් ප්‍රශ්න කළේ විමල් වීරවංශ මන්ත්‍රිවරයාය.

'කථානායකතුමා ආවට පස්සේ මේ ගැන කථාකරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ මූලාසනය තීරණය කරලා තියෙන්නේ හෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙන්නයි' යනුවෙන් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි තරමක් දැඩි ස්ථාවරයකින් ප්‍රකාශ කළේය.

රටේ ආර්ථික තත්ත්වය, විදේශ ණය හා පොලිය ගෙවීම, විදෙස් සංචිත ගැන දීර්ඝ වශයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පසුගිය දින 51 ආණ්ඩුවට දැඩි ලෙස චෝදනා කිරීමටද අමතක නොකළේය. 'මේ දින 51 ආණ්ඩුව නිසා විදෙස් සංචිත පහළ වැටුණා. රුපියල 3.8%කින් අවප්‍රමාණය වුණා.

අපේ ආණ්ඩුව තිබුණා නම් විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 8000 දක්වා වැඩිවෙනවා. මේගොල්ලන් කොච්චර කයිවාරු ගැහුවත් වැඩක් වුණේ නැහැ. ආර්ථිකය වැටුණා' යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධනට යකා නැග්ගේය. 'අවුරුදු 3 1/2ක් තිස්සේ මේ රට කාලා විනාශ කරලා ඒක දැන් දින 51ක ආණ්ඩුවට භාර කිරීම වැරැදියි. රට කාලා විනාශ කිරීම පිළිබඳව දිනක පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි' බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

'විවාද කරන්න ඕන දින 51 ගැන' ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ විවාදයට ගනු ලැබුවේ සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ නියමයන්ය. එය ඉදිරිපත් කළේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරලයි.
රණවිරුවන් දඩයම් කිරීමේ වුවමනාව මෙම පනත ගෙන ඒමේ ප්‍රධාන අරමුණ බව විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් පෙන්වා දෙන ලදී.

'මානව හිමිකම් සළුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවෙන් මෙම පනත වහලා තියෙනවා. මෙම සළුව ඉවත් කළොත් වහලා තියෙන්නේ මොනවාද කියලා පෙනෙන්න ගන්නවා.' යනුවෙන් විමල් වීරවංශ ප්‍රකාශ කරන විට තලතා අතුකෝරලට යකා නැග්ගාය.

එසේ කිසිදු දෙයක් සඟවා නොමැති බව තලතා අතුකෝරල කෑගසමින් පැවැසුවාය.

'කලබල වෙන්න එපා. මං කිව්වේ පනත වහලා තියෙන සළුව ගැනයි' යනුවෙන් විමල් වීරවංශ ප්‍රතිචාර දැක්වීය.

ඉන් පසුව විමල් වීරවංශ වේගවත් කතාවක් සිදුකරන ලදී.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ මෙම පනත හරහා සිදුකරනු ලබන්නේ ඇතැම් විදේශ රටවල් සතුටු කිරීමට අවශ්‍ය පියවර ගැනීම බවයි.

'මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට අද ඕස්ට්‍රේලියාවට යන්න බැහැ. මේවා වළක්වන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාවත් ඉවත් වෙලා. ඒත් ශ්‍රී ලංකාව තවමත් ජගත් මානව හිමිකම් කවුන්සිලයට යනවා. අපේ නිල මැස්සා ඒකට යනවා. මං නිල මැස්සා කිව්වේ ඇමැතිතුමාට' යනුවෙන්ද විමල් වීරවංශ පැවැසීය.

මේ අතර මැතිසබය තුළ මාධ්‍ය ආයතන ඉදිපිට සිදු කළ විරෝධතා පිළිබඳ කතා කිරීමෙන්ද මැතිසබය තුළ ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයකි.

'මව්බිම', 'ඛ්ඥරතධද බධඤචර' පුවත්පත් ආයතන ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් වෙත ඊයේ දින කළු ඇඳුමින් සැරසුණු සිවිල් සංවිධාන යැයි කියාගත් පිරිසක් පැමිණ විරෝධතාවල නිරතවූහ.

මේ ගැන පාර්ලිමේන්තුවට මුලින්ම හෙළි කළේ විමල් වීරවංශ මන්ත්‍රිවරයාය. ඉන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ, සිසිර ජයකොඩි යන මන්ත්‍රිවරුද මෙම සිද්ධිය හෙළා දකිමින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අදහස් දැක්වූහ.

බැඳුම්කර සල්ලිවලින් මුදල් ලබාගත් පිරිස් කළු ඇඳුම් ඇඳගෙන ආණ්ඩුවේ වුවමනාව අනුව මෙසේ මාධ්‍ය ආයතනවලට පැමිණ තර්ජනය කරන බවත් එය වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.

කළු ඇඳුම් ඇඳගෙන මාධ්‍ය ආයතන ඉදිරිපිට සිදුකළ මෙම විරෝධය තමා හෙළා දකින බව විවාදයට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන කියා සිටියේ ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු නොකරන බවයි.

ධර්මසිරි බණ්ඩාරනායක, සමනලී ෆොන්සේකා ඇතුළු කලාකරුවන් සහ සිවිල් සංවිධාන පිරිසක් කළු ඇඳුමින් සැරසී පැමිණ ඇත්තේ ඔවුන්ගේ විරෝධතාව අවිහිංසාවාදීව ඉදිරිපත් කිරීමට පමණක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන පෙන්වා දුන්නේය.

මේ අතර පෙරේදා හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිසබය තුළ සිටින විට ඔහුගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ආවේය.

දුරකථන ඇමැතුම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් බව දැනගත් ලොහාන් රත්වත්තේ වහාම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අසලට ගොස් ජංගම දුරකථනය ලබාදුන්නේය.

මැතිසබය තුළ ඒ අවස්ථාවේදී කථිකයන් කතා කළ නිසා පැවැති ශබ්දය හේතුවෙන් ජංගම දුරකථනයට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංකීරණයේ විපක්ෂයේ ආලින්දයට ගොස් නිදහසේ ජනාධිපතිවරයා සමඟ දුරකථන සංවාදයේ නිරත වූයේය.

විනාඩි කිහිපයක් තිස්සේ මෙම දුරකථන සංවාදය සිදුවිය.

මේ අතර මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ඊයේ (10දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සමඟය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා විදුලි සෝපානයට ඇතුළු වන විට චම්පිකා, ප්‍රේමදාසට සහ නලින්ද ජයතිස්සට විදුලි සෝපානයට ඇතුළු වන ලෙස මහින්දානන්ද අලුත්ගමගේ ආරාධනා කළේය. ඒ සමඟම දෙදෙනාම විදුලි සෝපානයට ඇතුළු වූහ. 'සර් ජේවීපී එකේ ඩොක්ටර් නලින්ද ජයතිස්ස ජේවීපී වුණාට එයාට තියෙන්නේ අපේ අදහස්' යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ කියපු කතාවට සියල්ලෝම සිනහසුණහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon