තක්සේරුකරු තනතුරට හිතවතකු බඳවා ගැනීමට හොර ව්‍යවස්ථාවක් සැකසීම ගැන

  👤  1032 readers have read this article !
By mawbima 2019-01-10

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට හිතවත් නිලධාරීන් පත්කර ගැනීමේ අරමුණින් නීත්‍යනුකූල සියලු ක්‍රමවේදයන් බැහැර කර වංචනික නව ව්‍යවස්ථාවක් සකස් කළ බවට චෝදනා කරමින් තමන් ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට බලයක් නොමැති බවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා ඉදිරිපත් කළ තර්ක සහ මූලික විරෝධතා උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන්් චන්ද්‍ර රණවක මහතා තරයේ ඊයේ (09දා) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීමට උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට බලයක් ඇති බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා ලබන පෙබරවාරි මස 05 වැනිදා සිට නඩුව විභාගයට ගැනීමට නියෝග කෙරිණි. මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ නඩුව උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.
උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ
බදු නිලධාරීන් වන එම්.එස්. චන්ද්‍රසේකර, එම්.එම්.පී. කුමාර, ඒ.ජී.ඒ.ඩී. නවරත්න, බී.ජී.සී.

පුෂ්පකුමාරි, ආර්.ඒ.ආර්. ඉෂාන්ති, බී.එල්.එන්. උදය කුමාර, අයි.එච්. නිරෝධා, යූ.ඒ.සී. අතුල කුමාර සහ බී.එස්. නිමල් යන මහත්වරු සහ මහත්මියන් උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය මෙම පෙත්සම ගොනු කර ඇත.

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, උතුරු මැද ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර, පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.වී. විමලසිරි එහි සභාපති එස්.ජී.එම්.සී.කේ. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ආදායම් කොමසාරිස් ආර්.එස්. සමරනායක, ජේ‍යෂ්ඨ බදු නිලධාරීන් වන එන්.එම්. නලීන් ගුණරත්න සහ එම්.පී. ප්‍රියන්ති, කේතකී විජයලතා සහ ඩබ්.බී. ලලිත් කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු දහතුන් දෙනකු එහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර ජේ‍යෂ්ඨ බදු නිලධාරීන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා පෙත්සම මඟින් සඳහන් කර ඇත්තේ උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට සුදුසු නිලධාරීන් බඳවා ගැනීම සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටියක්ද ආයතන සංග්‍රහයේ නීතිමය ක්‍රමවේදයක්ද ඉතා පැහැදිලිව පවතින බවයි.

එහෙත් එම සියලු බඳවා ගැනීමේ ක්‍රමවේදයන් බැහැර කරමින් මෙම නඩුවේ හය වැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින උතුරු මැද පළාත් ආදායම් කොමසාරිස් ආර්.එස්. සමරනායක නමැත්තාගේ මූලික මැදිහත්වීමෙන් සෙසු වගඋත්තරකාර නිලධාරීන් ඔවුනට හිතවත් සුදුසුකම් නොමැති නිලධාරියකු එකී තනතුරට පත් කර ගැනීම සඳහා හිතවත් නිලධාරීන්ගේ සුදුසුකම්වලට ගැළපෙන අයුරින් බඳවා ගැනීමේ නීති විරෝධී වංචනික ව්‍යවස්ථාවක් සකස් කර ඇති බවද නීතිඥ අනුරුද්ධ මහතා පෙත්සම මඟින් අධිකරණයට සැල කර තිබේ.

වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාව මුළුමනින්ම නීතියට පටහැනි බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා වගඋත්තරකරුවන් ගෙන ඇති මෙම නීති විරෝධී තීරණය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් අයැද තිබේ.

වගඋත්තරකාර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ සහ පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ තර්කය වූයේ මෙම නඩුව විභාග කිරීමට බලය ඇත්තේ ශේ්‍රෂ්ඨාධිකරණයට පමණක් බවය. එමෙන්ම රජයේ විනය පාලනයට අදාළ සිද්ධීන් විභාග කළ හැක්කේද ශේ්‍රෂ්ඨාධිකරණයට පමණක් බවද කියා සිටි වගඋත්තරකාර රාජ්‍ය නිලධාරීන් මෙම නඩුව විභාගයට ගැනීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවට නිගමනය කරමින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙසද අධිකරණයෙන් අයැද සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සමඟ නීතිඥ විනෝදනී ලංකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය. වගඋත්තරකරුවන් වෙනුවෙන් උතුරු මැද පළාත් සභාවේ නීති නිලධාරිනි පී්‍රති මුණසිංහ මහත්මිය පෙනී සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon