ෆෙඩරල් ඉල්ලා කෑ ගහන දෙමළ සන්ධාන ක්‍රියාදාමය හෙළා දකිනවා

  👤  2813 readers have read this article !
By mawbima 2019-01-10

මහනුවර - නදීක දයා බණ්ඩාර

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ පවසති.

නව කෙටුම්පතක් හෝ සංශෝධනයක් ඉදිරිපත් කරනවා නම් එහි අඩංගු වී ඇත්තේ කුමක්ද යන්න මහා සංඝරත්නයට සහ ජන සමාජයට විනිවිදභාවයෙන් යුතුව ඉදිරිපත් කරන ලෙස අස්ගිරි මහ විහාර පාර්ශ්වය මඟින් රජයට දැනුම් දී ඇතැයි එම විහාරයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළහ. රටේ සම්පූර්ණ අනාගතය තීරණය කරන වැදගත්ම ලියැවිල්ල දින විසිපහක් වැනි කෙටි කාලයක් තුළ සකස් කර ඉදිරිපත් කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් මේ අවස්ථාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධනයක් ඉදිරිපත් කිරීමෙන් සිදුවෙන්නේ රටේ පවතින ප්‍රශ්න තවදුරටත් තීව්‍ර කිරීමක් බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එහිදී මෙසේද කීහ.

රජය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේ ජන සමාජය තුළ පවතින සංහිඳියාවට බාධාවක් සිදු වෙනවා නම් රට තුළ අනාගතයේදී ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා නම් ඒ ව්‍යවස්ථාව සුදුසු යැයි අප විශ්වාස කරන්නේ නැහැ.

ජනතාවගේ පාර්ශ්වයෙන් සිතන්නේ නම් අද ඔවුන්ට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවේ. ජන ජීවිතය සහ රටේ ආර්ථිකය ගොඩනඟා ගත හැකි අවශ්‍යතාවක් රට තුළ මතුවී තිබෙනවා. විවිධ වංචා, දූෂණ, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ව්‍යසනයන් රාශියක් රට තුළ මතුවී තිබෙනවා. මේ අතර ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි නිතර දෙවේලේ සඳහන් කරනවා. "ෆෙඩරල් ක්‍රමය" අවශ්‍ය යැයි යන මතය ගොඩනඟන්නවුන්ගේ ක්‍රියාදාමයන් අප හෙළා දකින අතර රජයට තරයේ ප්‍රකාශ කර සිටින්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වන ආර්ථික ප්‍රශ්න, ජන ජීවිතය ගොඩනඟා ගැනීමට සුදුසු පසුබිම නිර්මාණය කරන ලෙසයි.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තුළින් සිදුවෙන්නේ රට තුළ, පක්ෂ අතර ගැටුම් තවදුරටත් උග්‍ර වී භේදකාරී සමාජයක් නිර්මාණය වීම පමණයි.

එබැවින් බෙදුම්වාදී අන්තවාදී ජන කොටස්වල ක්‍රියාකාරකම් නතර කොට සාමකාමී වාතාවරණයක් රට තුළ නිර්මාණය කිරීමටත් පවතින සාමකාමී වාතාවරණය තවදුරටත් ආරක්ෂා කරගැනීමටත් රජය මැදිහත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon