තවත් වසර 5ක් රටට සේවය කරන්නැයි ජනපතිට ඇරයුම් කරනවා

  👤  2733 readers have read this article !
By mawbima 2019-01-10

පහන් විජේසේකර

මහ මන්දිර බැහැර කරමින් පොදු ජනතාව අතර සිට ජනතාවට සේවය කරන ජනාධිපතිවරයා රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් අද ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් බව ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ පවසති.

මත්ද්‍රව්‍ය වැනි බිහිසුණු උවදුරුවලින් සමාජය ගලවා ගනිමින් ආධ්‍යාත්මික ගුණවගාවෙන් රටත් ජනතාවත් පෝෂණය කිරීමට ඉකුත් සිවු වසර තුළ ජනපතිවරයාගේ නායකත්වයෙන් සුවිශේෂී වැඩකොටසක් ඉටු වූ බව සඳහන් කළ උන්වහන්සේ ඉදිරි වසර පමණක් නොව තවත් වසර 05ක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත්, ජාතියේත්, සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ආරාධනා කරන බවද සඳහන් කරති.

මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ විහාරස්ථාන වෙත 'පූජා භූමි' ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (09දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාව අමතමිනි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයිනපුරා විහාරස්ථාන 60කට ආසන්න ප්‍රමාණයකට 'පූජා භූමි' ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු වූ අතර, ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව විහාරාධිපති ස්වාමීන් වහන්සේ කිහිප නමක් වෙත පූජා ඔප්පු පිළිගැන්විණි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එච්. කරුණාරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon