විපක්‍ෂ නායක ලේකම් තනතුරට මහින්ද දුන් නම් අගමැති නොපිළිගැනීමෙන් අර්බුදයක්

  👤  2759 readers have read this article !
By mawbima 2019-01-10

ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංඛ

විපක්ෂනායක කාර්යාලයේ ලේකම් තනතුර සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ නම්, අගමැති කාර්යාලය නොපිළිගැනීම නිසා විපක්ෂනායකවරයාට තම කාර්යාලයේ රජකාරි කටයුතු සිදුකිරීමට බාධා පැමිණ ඇතැයි වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා දෙකකදී විපක්ෂනායක කාර්යාලයේ ලේකම් තනතුර සඳහා නම් ඉදිරිපත් කර ඇති අතර මුලින් ඉදිරිපත් කළ නම කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප වීම නිසා තවත් නිලධාරියකුගේ නමක් ඉදිරිපත්කර ඇති බව දැනගන්නට ඇත.

අනතුරුව තවත් නමක් අගමැති කාර්යාලය වෙත යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉකුත් සතියේ ඉදිරිපත් කළ අවස්ථාවේ එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් නම සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිර්දේශ ලබාගතයුතු බව සඳහන් කරමින් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කිරීම පසුවට කල්තැබූ බවද වාර්තා වේ.

විපක්ෂනායකවරයාට තමන් කැමැති නිලධාරියකු තම කාර්යාලයේ ලේකම් තනතුරට පත්කරගත හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිර්දේශයක් ලබාගැනීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට් රැස්වීමේදී සඳහන් කළ බවද දැනගන්නට ඇත.

කෙසේවුවද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ලබාදීම සතියෙන් සතිය ප්‍රමාදවීම නිසා විපක්ෂනායක කාර්යාලයේ රාජකාරි කටයුතු අඩාලවී ඇති බවත් හිටපු විපක්ෂනායකවරයාගේ ලේකම්වරියටද මේ තත්ත්වය යටතේ ඇය භාරයේ පවතින බඩුබාහිරාදිය භාරදී එම කාර්යාලයෙන් ඉවත්ව යෑමට නොහැකිව කාර්යාලයේ රැඳී සිටීමට සිදුව ඇති බවත් වාර්තා වේ.

විපක්ෂනායක කාර්යාලය ස¼දහා ලේකම්වරයකු පත්කිරීමේදී, මීට ඉහතදී කථානායකවරයාගේ නිර්දේශ ලබාගැනීමක් සිදුනොවූ බව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක් 'මව්බිම'ට පැවසීය.

මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ මතය පෙරේදා (8දා) අමාත්‍යමණ්ඩල ලේකම්වරයා වෙත දන්වා ඇති බවද දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක තනතුරට පත්කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කථානායකවරයා වෙත දැනුම් දීමෙන් පසු, පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ වැඩිම මන්ත්‍රිවරු පිරිසක් සිටින එම සන්ධානයේ ඉල්ලීමට අනුව මහින්ද රාජපක්ෂ මහතාවිපක්ෂනායක වශයෙන් තමා පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන් පසුවද, රාජපක්ෂ මහතා පොහොට්ටුව පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බැවින් ඔහුගේ මන්ත්‍රි ධුරය අහිමිවී ඇතැයි ආණ්ඩුපක්ෂය ප්‍රකාශ කිරීම නිසා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායකවරයා වශයෙන් තමා පිළිගෙන ඇති බවට කථානායකවරයාගේ නිවේදනයක්, පෙරේදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කථානායකවරයා සභාවට ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon