අදාළ නැති සාක්ෂි ඉදිරිපත් කරමින් නඩුව මෙහෙයවීමට නීතිපතිවරයා දරන උත්සාහයට විරෝධය පළ කරනවා

  👤  2708 readers have read this article !
By mawbima 2019-01-10

කේ.එස්. උදය කුමාර්

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එල්ල කළ චෝදනාව පදනම් විරහිත බව විත්තිය විසින් සාක්ෂි සහිතව ඔප්පු කර තිබියදී මෙම නඩුවට අදාළ නොවන සාක්ෂි ඉදිරිපත් කරමින් නඩුව මෙහෙයවීමට නීතිපතිවරයා දරන උත්සාහයට තමා විරෝධය පළකරන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ (09දා) කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානි ගාමිණී සෙනරත්මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥ මාරපන මහතා මේ බව දැන්විය.

සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩු විභාගය පැවැත්වේ.
මෙම නඩුව ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් තුසිත මුදලිගේ මහතා විසින් බැංකු අණකරයක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවකුගෙන් ප්‍රශ්න ඇසීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා -
ස්වාමිනී! මෙම ඉල්ලීමට මා විරුද්ද වෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන් රුපියල් මිලියන 500ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට මුලින්ම චෝදනා එල්ල කළා. පසුව එම මුදල් විත්තිකරුවන්ගේ පරිහරණයට ගෙන නොමැති බව අපි වවුචර්පත් සහිතව ඔප්පු කළා. දැන් නඩුවට අදාළ නොවන සාක්ෂියක් ගෙනැවිත් පැමිණිල්ල මෙහෙයවන්න රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා උත්සාහ කරනවා. ස්වාමිනී! මෙම ඉල්ලීමට ඉඩදෙන්න එපා. එහෙම කළොත් විත්තිකරුවන්ට දැඩි අගතියක් සිදුවෙනවා.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා -
ස්වාමිනී මෙම නඩුවේ දෙවැනි විත්තිකරු පියදාස කුඩාබාලගේට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා එල්ල කර තිබෙනවා. එම චෝදනා ඔප්පු කිරීම සඳහා මෙම සාක්ෂිය මෙහෙයවීමට පැමිණිල්ලට අවශ්‍යව තිබෙනවා.

සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා-
මුදල් විශුද්ධිකරණය කියන්නේ, නීති විරෝධී ලෙස උපයාගත් මුදල් සම්බන්ධයෙන් පවතින නීති ප්‍රතිපාදනයක්. එය මෙම අවස්ථාවට අදාළ වන්නේ කොහොමද?

රජයේ නි.සො. ජනරාල් මුදලිගේ මහතා -
මෙම නඩුවේ දෙවැනි විත්තිකරු සාපරාධී සාවද්‍ය පරිහරණයෙන් උපයාගත් මුදල් තමා බැංකු අණකරයක් හරහා විශුද්ධිකරණ කිරීමට උත්සාහ කර තිබෙන්නේ. ඒ බව ඔප්පු කිරීම සඳහා පැමිණිල්ලට අදාළ සාක්ෂිය මෙහෙයවීම වැදගත් වෙනවා.

විත්තියේ ජනාධිපති නීතිඥ මාරපන මහතා -
ස්වාමිනී! මෙම නඩුවට පාදක වී තිබෙන සියලු මුදල් ගනුදෙනු සිදුවී ඇත්තේ පිළිගත් වාණිජ බැංකු පද්ධතිය තුළ නීත්‍යනුකූල ආකාරයට. ඉතිං නඩුවට සම්බන්ධයක් නැති සාක්ෂියක් මෙහෙයවීමට පැමිණිල්ල දරන උත්සාහයට මා විරුද්ධ වෙනවා.

ඉදිරිපත් වූ කරුණු සඳහා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පැමිණිල්ල විසින් කර ඇති ඉල්ලීමටඅනුව අදාළ සාක්ෂිය මෙහෙයවීමට අවසර දෙන්නේද? නැත්ද යන නියෝගය හෙට (11දා) ප්‍රකාශ කරන බව නිවේදනය කළහ.

2014 පෙබරවාරි මස 01 වැනිදා සහ 2015 ජනවාරි මස 29 වැනිදා දක්වා කාල සීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩින් සාමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කරනු ලැබ සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon