පාතාල නායකයකුගේ ගෝලයකු වන 'පප්පා' අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

  👤  2640 readers have read this article !
By mawbima 2019-01-10

චාමර අමරසූරිය

කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පසුගිය කාලසීමාවේ සිදුකළ වෙඩි තැබීම් සඳහා යතුරුපැදියක් පැදවූ ප්‍රධාන පෙළේ පාතාල නායකයකුගේ ගෝලයකු වන 'පප්පා' නමැත්තා ජීව අත්බෝම්බයක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායිහි සැඟවී සිටින ප්‍රබල පාතාල නායකයකු වන 'කංජිපානි ඉම්බ්‍රාන්' ගේ යටතේ පවතින මිනී මැරීමේකල්ලියක යතුරුපැදිකරුවකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 28 හැවිරිදි බමුණුආරච්චිගේ දුමින්ද නොහොත් මොහොමඩ් සල්මාන් රිල්වාන් යන සැකකරු බවද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 3 වැනි දින පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් අනුව මාලිගාවත්ත, ඛෙත්තාරාම මාර්ගයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 340ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදු කරන ලදී. එහිදී මොහුගේ මෙම අපරාධ අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටී.

ඉකුත් වසරේ ජූලි මස 8 වැනි දින වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදිය ප්‍රදේශයේදී ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම හා පුද්ගලයන් දෙදෙනකුට තුවාල සිදු කිරීමේ අපරාධයට, වෙඩි තැබීම සඳහා සැකකරුවන් ගමන් කළ එක් යතුරුපැදියක පැදිකරු ලෙස ක්‍රියා කිරීම, එම වසරේ අගෝස්තු මස 26 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට, වෙඩි තැබීම සඳහා අමතර කණ්ඩායමක් ලෙස යතුරුපැදියක් පැදවීම, එම වසරේ අගෝස්තු මස 30 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේ මාලිගාවත්ත ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී පුද්ගලයකුට ගිනි අවියකින් වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවීම, වසරේම සැප්තැම්බර් 12 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේ මාලිගාවත්ත ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය අසලදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවීම, එම වසරේ නොවැම්බර් 7 වැනි දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පරාක්‍රම මාර්ගයේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවීම යන සිද්ධීන්ට මොහුට එරෙහිව චෝදනා ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරුට විරුද්ධව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු 2ක් සඳහා වරෙන්තු නිකුත් කර ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති බවද පොලිසිය කියා සිටී.

සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරු විසින් මාලිගාවත්ත පොලිස් වසමේ ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ පිටුපස ඉඩමේ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් වළදමා සඟවා ඇති බවට පවසන ලද අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (8දා) ප.ව. 2.50ට පමණ සැකකරු ඉහත ස්ථානයට රැගෙන ගොස් සෝදිසි කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයාගෙන ඇත.

මෙම සැකකරු ඉහත අත්අඩංගුවට ගන්නා ලද ජීව අත්බෝම්බයේ අයිතිකරු බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

තවද මෙම සැකකරු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවට කරුණු අනාවරණය වී ඇත.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකරි නිශාන්ත ද සොයිසා, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය හා උපදෙස් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon