යතුරුපැදි - ටිපර් ගැටුමෙන් තරුණයන් දෙදෙනා මරුට

  👤  2646 readers have read this article !
By mawbima 2019-01-10

පනාගොඩ - චම්පා ජීවන්ති

හයිලෙවල් මාර්ගයේ මීපේ මාවතගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටී ඊයේ (09දා) සවස සිදුවූ අනතුරින් යතුරුපැදියෙහි ගමන්ගත් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මියගිය යතුරුපැදිකරුවන් දෙදෙනා මීපේ දෙස සිට කොස්ගම දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටින අතරතුර මීපේ මාවතගම ප්‍රදේශයේදී එම දෙසටම ධාවනය කරමින් තිබූ ලොරි රථයකට ඉස්සර කිරීමට යෑමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටී එක් අයකු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර අනෙක් තරුණයා බරපතළ තුවාල සහිතව පාදුක්ක ප්‍රාදේශීය රෝහලටත් එතැනින් හෝමාගම මූලික රෝහලටත් ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

අනතුරින් පසු ලොරි රථය පලාගොස් ඇති බවත් යතුරුපැදිකරුවන් ගැටුණු බවට සැක කරන ටිපර් රථය සහ එහි රියැදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වග වැලිකන්න ඇල්ලකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඉළන්දාරි පේටිගේ ඉසංක මධුෂංක (20) සහ කොස්ගම ඉහළ කොස්ගම සර්වෝදය මාවත පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ සිතුම් සංකල්ප (19) යන තරුණයන් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියැදුරු අද (10දා) දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුරින් පසු පලාගිය ලොරි රථය සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි. පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයවර්ධන මහතා ප්‍රමුඛ පොලිස් කොස්තාපල් ලක්සිරි මධුෂාන් සහ වීරසූරිය යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon