අලි මරණ ගැන තොරතුරු එළියට

  👤  2642 readers have read this article !
By mawbima 2019-01-10

අඹන්පොළ - මුදිතා කෞෂානි

ගෙවී ගිය 2018 වර්ෂයේ අලි - මිනිස් ගැටුම හේතුවෙන් වන අලි 300ක් මියගොස් වන අලි පහර දීමෙන් පුද්ගල ජීවිත 75ක් අහිමි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට ලංකාව පුරා ප්‍රදේශ රැසක දරුණු සටනක් බවට පත්ව ඇති අලි - මිනිස් ගැටුම හේතුවෙන් ඉකුත් වසරේ දෙපාර්ශ්වයටම බරපතළ හානි සිදුවී තිබේ. ඒ අනුව 2018 වසරේ වල් අලි 300ක් මිය ගොස් ඇති බවත් ඉන් වැඩිම මරණ ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවූ ඒවා බවත් වනජීවී දෙපාර්තමේන්තුව සනාථ කරගෙන ඇත.

ලංකාවේ වනජීවීන් සඳහා සුරක්ෂිත වාස භූමි ප්‍රමාණය මුළු බිමෙන් 22කි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට 14%ක්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට 08%ක්ද ලෙස මෙම භූමි ප්‍රමාණය ගැනෙන අතර 2011 සංගණනයට අනුව වන අලි 5879ක් සිටින බවට හඳුනාගෙන ඇත. 2013 වසරේ සිට 2017 දක්වා මිනිස් ජීවිත 450ක් සහ 2013 වසරේ සිට 2018 ඔක්තෝබර් දක්වා අලි මරණ 1445ක් වාර්තා වී තිබිණි. 2017 සමීක්ෂණ වාර්තා අනුව එම වසරේ වන අලි 256 දෙනෙක් විවිධ හේතු නිසා මිය ගොස් තිබේ.

එම සංඛ්‍යාව ඉකුත් 2018 වසරේ තවත් ඉහළ ගොස් තිබේ. වයස් ගත වීමෙන් සිදුවූ ස්වාභාවික මරණ කිහිපයක් හැර අන් සියල්ලම හක්කපටස් යෙදීමෙන්, වෙඩි තැබීමෙන්, වගා ළිංවල වැටීමෙන්, උගුල් ඇටවීමෙන්, වාහනවල වැදීමෙන්, විදුලිසැර වැද්දවීමෙන්, වස දීමෙන් සහ දුම්රිය අනතුරුවලින් සිදු වූ මරණයි. මේ අතරින් හක්කපටස් යෙදීමෙන් පමණක් ඉකුත් වසරේ වන අලි 50ක් මිය ගොස් ඇත. මේ වසරේ වන අලි දුම්රියේ වැදීමෙන්ද සිදුවූ අලි මරණ ඉහළ ගොස් ඇති අතර නැඟෙනහිර සහ වයඹ වනජීවී කලාපයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. අලි දුම්රියේ ගැටීමෙන් සිදුවූ මරණ ගණන 16කි.

වනජීවී දෙපාර්තමේන්තුව විදුලි වැටවල් ඉදිකිරීමේදී කිලෝමීටර් එකක් සඳහා රුපියල් ලක්ෂ 5ක් පමණ වැය වන අතර 2018 වසර දක්වා රට පුරා කිලෝමීටර් 4650ක් එනම් රුපියල් ලක්ෂ 23,250ක් විදුලි වැටවල් ඉදිකිරීම සඳහා පමණක් වැය කර තිබේ. එමෙන්ම අලි වෙඩි සඳහා 2017 වසරේ පමණක් රුපියල් හය කෝටි අනූ දෙලක්ෂ හැට එක් දහස් එකසිය හැට හයක් වැය කර තිබේ. 2018 වසරේ මේ සඳහා වැය කළ ප්‍රමාණය ගණනය කරමින් පවතින අතර රටේ සංවර්ධන කටයුතු සඳහා වැය කළ හැකි මහත් ධනස්කන්ධයක් අලි - මිනිස් ගැටුමට වැය කිරීමට සිදුව ඇති බැව් මේ තොරතුරුවලින් සනාථ වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon