අපේ රටේ ක්‍රිකට් දූෂණ ගැන දන්නවා නම් සති දෙකක් තුළ දැනුම් දෙන්න _ ක්‍රීඩා ඇමැති හරීන්

  👤  2650 readers have read this article !
By mawbima 2019-01-10

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ හා වංචා පිළිබඳව තමන් වෙත වාර්තා කිරීමට සති දෙකක සහන කාලයක් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) තීරණය කර ඇති අතර, එම කාලය තුළ අයි.සී.සී.යේ දූෂණ මර්දන ඒකකයේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යෑමටද තීරණය කර තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ අනුව එම සති දෙකක සහන කාලය තුළදී ඕනෑම අයකුට ක්‍රිකට්වලට සම්බන්ධ යම්කිසි වංචාවක්, දූෂණයක් ඇත්නම් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන එම කාර්යාලයට ගොස් පැවැසීමට අවස්ථාව සැලසී ඇති අතර මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අයි.සී.සී.යේ දූෂණ මර්දන ඒකකයේ නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතා එම සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවද පැවැසේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසුවේ මෙවැන්නකි.

"ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන අද බොහෝ දෙනකුගේ කතාබහට ලක්වෙලා තියෙනවා වගේම අයි.සී.සී. යේ විශාල චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. අයි.සී.සී.යේ නිලධාරීන් පිරිසක් හමුවීමේදී ඔවුන් මට කිව්වේ ක්‍රිකට්වලින් දූෂිතම රටක් විදියට ශ්‍රී ලංකාව හඳුනාගෙන තියෙනවා කියලයි. සිම්බාබ්වේ රටට වඩා අපි දූෂිතයි කියලත් කිව්වා. ක්‍රිකට්වලට ආදරේ කරන මට ඒක අහපුවහම හදවතට ලොකු දුකක් දැනුණා. ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට එහා ගිය පාතාලය එක්ක සම්බන්ධ දෙයක් කියලත් ඔවුන් (අයි.සී.සී.) මට කිව්වා. ඒක හරි දරුණු චෝදනාවක්. ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමකට පත්වෙලා වගේම විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වන ක්‍රීඩාවක් බවට පත්වෙලා තියෙන නිසා ඒ පිළිබඳව අපිට අවධානයෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුණත් පැරැණි ජේ‍යෂ්ඨ ක්‍රීඩකයෝ කිහිප දෙනකුගේ සහයෝගය අපේ ක්‍රිකට් දියුණුවට ලබා දෙන්න ඉදිරිපත්වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්" යැයි පැවැසූ ඇමැතිවරයා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් අතර පසුගියදා ඇති වූ ගැටලුව සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබිණි.

"පසුගිය දින කිහිපයේදී ක්‍රීඩකයන්ගේ භාර්යාවන් ගැටලුවක් ඇති කරගත් සිද්ධිය මමත් දැක්කා, ඔබ සියලු දෙනාටමත් දකින්න පුළුවන් වුණා නේද? මම සැමගෙන් ඉල්ලා සිටින්නේ බිරියව ගෙදර තියලා ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ගහන්න කියලයි. ඒක හරිම ශෝචනීය තත්ත්වයක්. ඒ වගේ තත්ත්වයකට අපි වැටිය යුතු නැහැ. මෙහෙම වෙනකොට ලංකාව ගැන ලෝකය දකින්නේ මහ පිස්සු රටක් විදියටයි. ප්‍රශ්න ඇති, ඒවා ගෙදර තියලා එන්න. ක්‍රීඩා පිටියේදී කණ්ඩායමක් හැටියට සෙල්ලම් කරන්න. තනියම සෙල්ලම් කරලා නම් අපිට කවදාවත් ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයකුට හම්බවෙන මුදල කීයද, දෙවැනි පෙළ සෙල්ලම් කරන ක්‍රීඩකයකුට හම්බවෙන මුදල කීයද, කොන්ත්‍රාත් සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියලා මම අවධානයෙන් ඉන්නවා. විශ්වාසයෙන් ඉන්න ලංකාවේ ක්‍රිකට්නැවත වතාවක් අපි අංක එකට පත්කරනවා" යනුවෙන්ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ විශේෂ නියෝජිත ස්ටීව් රිචඩ්සන් යන මහත්වරු එක්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 7දා පැවැත්වෙන්නේ දැයි "මව්බිම" කළ විමසීමට පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ යොදාගත් පරිදි එම දිනයේම නිලවරණය පැවැත්වීමට හැකි යැයි විශ්වාස කරන බවයි.

"කෙසේ වෙතත් අතුරු කමිටුවක් පත් කිරීමට මා විසින් අයි.සී.සී.යෙන් කරන ලද ඉල්ලීමට එකඟතාවක් ලැබුණේ නැහැ. හේතුව ඔවුන්ගේ මතය වුණේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී තිබෙන තත්ත්වය අනුව වර්තමානයේදී අතුරු පාලක කමිටුවක් පත්කිරීම යෝග්‍ය නොවන බවයි" යනුවෙන්ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon