ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට ඕස්ට්‍රේලියානු සංචිතයත් නම්කෙරේ

  👤  2647 readers have read this article !
By mawbima 2019-01-10

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 13 දෙනකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු සංචිතය ඊයේ (9දා) නම් කෙරුණු අතර එහි නායකත්වය කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් හට හිමි වී ඇත. තවද මෙම සංචිතය සඳහා ජෝ බර්න්ස්, මැට් රෙන්ෂෝ සහ 20 හැවිරිදි නවක ක්‍රීඩක විල් පියුකොව්ස්කි එක් කර තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ඉන්දියාව සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියේදී අසාර්ථක වූ ෂෝන් මාෂ් සහ මිචෙල් මාෂ් මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර පීටර් හැන්ඩ්ස්කොම්බ්ට සහ ආරොන් ෆින්ච් හටද මෙම තරගාවලියේ තම ස්ථාන අහිමි වී ඇත.

නවක ක්‍රීඩක විල් පියුකොව්ස්කි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී වික්ටෝරියා කණ්ඩායම වෙනුවෙන් තරග 8කට ක්‍රීඩා කරමින් 49.00ක ලකුණු සාමානයක් රඳවා ගැනීමට සමත්ව තිබීම නිසා ඔහු ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සමඟින් මෙම මස 17, 18 සහ 19 දිනවලදී පැවැත්වෙන පුහුණු තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වී ඇත.

තවද ෂෙෆීල්ඩ් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි වැඩිම ලකුණු ලාභියා වන ජෝ බර්න්ස් එම තරගාවලියේදී ක්වින්ස්ලන්ත ප්‍රාන්තය නියෝජනය කරමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමි වී ඇති අතර මැට් රෙන්ෂෝ සතු දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ දක්ෂතාව මත ඔහු ඕස්ට්‍රේලියා කණ්ඩායමට කැඳවා ඇති බව ද වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පුහුණු තරගය සඳහා නම් කරන ලද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමේ නායකත්වය ද ජෝ බර්න්ස්ට හිමි වී තිබීමද විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය _ ටිම් පේන් (නායක), ජොෂ් හේසල්වුඩ්, ජෝ බර්න්ස්, පැට් කමින්ස්, මාකස් හැරිස්, ට්‍රවිස් හෙඩ්, උස්මන් කවාජා, මාර්නස් ලැබ්ස්චේන්, නෙදන් ලයන්, විල් පියුකොව්ස්කි, මැට් රෙන්ෂෝ, මිචෙල් ස්ටාර්ක්, පීටර් සිඩ්ල්.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම -
ජෝ බර්න්ස් (නායක), කර්ටිස් පැටර්සන්, සිකොට් බෝලන්ඩ්, ජේක් ඩෝරන්, මාර්නස් ලැබ්ස්චේන්, මයිකල් නීසර්, විල් පියුකෙව්ස්කි, ජේසන් සන්ගා,
මැට් රෙන්ෂෝ, ක්‍රිස් ටර්මෙයින්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon