යහපාලන ආණ්ඩුවේ සිවු වසර නිමා වන විට මුළු රටම තුන් වැදෑරුම් බියකට ගොදුරු වෙලා

  👤  2665 readers have read this article !
By mawbima 2019-01-10

යහපාලන ආණ්ඩු වෙනසින් පසු අවුරුදු 04ක් ගතවන මේ මොහොත වනවිට ශ්‍රී ලංකාව රටක් හැටියට "තුන් බියකට" ගොදුරු වී සිටින බවත්, ඉන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ අභියෝග ජයගෙන සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති තමාගේ නායකත්වය ඇති විපක්‍ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බවත්, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

ඉන් පළමුවැන්න ආර්ථිකය කුමන මොහොතක හෝ දරුණු බිඳවැටීමට ලක්වීමේ අවදානම බවත්, දෙවැන්න 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මුළු පාලන තන්ත්‍රයම බිඳ වැටීමේ අවදානම බවත්, තුන්වැනි බිය වන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාව බවත් විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙයි.
ඊයේ (09දා) නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

මේ රට නිදහස ලැබූ 1948 පෙබරවාරි මස සිට 2014 දෙසැම්බර් මස අවසානය දක්වා ගතවුණු අවුරුදු 60කට අධික කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරි වී තිබුණු මුළු ණය ප්‍රමාණය මෙන් 50%කට වඩා මුදලක් වත්මන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ගතවුණු අවුරුදු හතර ඇතුළත පමණක් ලබාගෙන ඇත. එජාප ආණ්ඩුව ණය ගන්නේ අපේ ආණ්ඩුව ගත් ණය ගෙවීමට යැයි කීවද, ගත් ණය ගෙවීමට පමණක් ණය ගත්තේ නම්, 2015න් පසු සමස්ත ණය ප්‍රමාණය වැඩි වීමට නොහැකිය. නමුත් කලින් ආණ්ඩු ගත් ණය එලෙසම තිබියදී ලංකාවේ මුළු ණය ප්‍රමාණය පසුගිය අවුරුදු හතර ඇතුළත 50%කින් වැඩි වී තිබේ.

2006-2014 අතර අපි රට පාලනය කළ සමයේ මුල් අවුරුදු කිහිපය තුළ දරුණු යුද්ධයක් පැවතිණි. එයත් සමඟ 2007 ලෝක ආහාර අර්බුදය ඇති විය. 2008-2009 කාලයෙදී 1930 ගණන්වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය අපිට අත්විඳීමට සිදුවිය. එපමණක්ද නොව 2006-2014 කාලයේදී ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ඉන්ධන බැරලය ඩොලර් 140 දක්වා එක දිගටම දරුණු ලෙස තෙල් මිලද ඉහළ ගියේය. ඒ සියලුම කලබැගෑනි මැදින් වුවත් 2006-2014 අතර මුළු අවුරුදු නවය පුරාම රුපියල ඩොලරයට සාපේක්‍ෂව අවප්‍රමාණ වූයේ රුපියල් 28කින් පමණි. නමුත් පසුගිය අවුරුදු හතර ඇතුළත පෙර කී ආකාරයේ කිසිම අර්බුදයක් නැතිවත් අපේ මුදල් ඒකකය රුපියල් 53කින් අවප්‍රමාණ වී ඇත. අපේ කාලේ තිබුණු 7.4%ක සාමාන්‍ය වර්ධන වේගය අද 3%ටත් පහළ තැනකට වැටී ඇත. ජනාධිපතිතුමා තත්ත්වය අවබෝධ කරගෙන මහ මැතිවරණයක් පවත්වා නැවත රට අපට භාරදීමට උත්සාහයක් දැරුවද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. අපි අද සිටින්නේ ඊළඟ මාසයේ, ආර්ථිකයට කුමක් වේදැයි නොදන්නා තත්ත්වයකය.

අපි මුහුණ දී සිටින ඊළඟ බිය වන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මුළු පාලන තන්ත්‍රයම බිඳ වැටීමේ අවදානමයි. 19 වැනි සංශෝධනය නිසා, ආණ්ඩුවක් අය-වැය හෝ රාජාසන කතාව පැරදුණත්, විශ්වාසභංග යෝජනාවකින් පැරදුණත් මොනම හේතුවකටවත් අවුරුදු හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය. පාර්ලිමේන්තුවක් යනු විවිධ මතිමතාන්තර, පෞද්ගලික වුවමනා එපාකම් සහිත සංවිධාන හා පුද්ගලයන් සමූහයකි. පාර්ලිමේන්තු ක්‍රමය ශතවර්ෂ ගණනාවක් තිස්සේ පරිණාමය වූයේ එවන් පිරිසක් යම්කිසි රාමුවක් තුළ රඳවාගෙන පාලනයක් ගෙනයෑමට හැකි වන ආකාරයටය.

රටේ පාලනයට බලපෑමක් ඇති වෙන තැනට පාර්ලිමේන්තු ආණ්ඩු පක්‍ෂයක් තුළ මත ගැටුම් ඇති වුවහොත් මැතිවරණයක් කැඳවා ජනතා අභිමතය පරිදි නව පාලනයක් පත් කරගැනීමට ඉඩ හැරීම පාර්ලිමේන්තු ක්‍රමයේ ප්‍රධානම අංගයක් විය. අවශ්‍ය අවස්ථාවල ජනතාව ඉදිරියට යෑමේ ක්‍රමවේදය දැන් අහුරා තිබෙන නිසා ආණ්ඩු පක්‍ෂයට තමන්ගෙම මන්ත්‍රිවරුන් හා සභාග දේශපාලන පක්‍ෂ යම් රාමුවක් තුළ රඳවාගෙන කටයුතු කිරීමේ හැකියාව හීන වී ඇත.

අපේ රටේ 1952, 1959, 1964, 2001 පාර්ලිමේන්තු විසුරුවීම් සිද්ධ වූයේ පාලක පක්‍ෂය තුළ ඇති වූ ගැටුම් විසඳීමටය. අවශ්‍ය අවස්ථාවක පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීමට ඇති අවකාශය ඇහිරීම රටකට කෙතරම් අහිතකරදැයි ඉදිරියේදී කාටත් පෙනෙණු ඇත. 1978 ව්‍යවස්ථාව ගැන මූලාරම්භයේ සිටම තිබුණු ප්‍රධානම විවේචනය වූයේ, ජනාධිපතිවරයා එක් දේශපාලන පක්‍ෂයකින් පත් වී සිටින අතර, පාර්ලිමේන්තු බහුතරය තවත් පක්‍ෂයකට ගියහොත්, රටේ පාලනය අවුල් වන බවයි. මේ තත්ත්වය මඟහැරීමට 1994 දීත්, 2001දීත් ඇති වූ පූර්වාදර්ශය වූයේ, බලයේ සිටි ජනාධිපතිවරයකු මහ මැතිවරණයක් කැඳවා, යම් හෙයකින් ඔහුට විරුද්ධ දේශපාලන පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ බලය දිනාගතහොත්, ඒ ආසන්න ජනමතයට ගරු කර රටේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් පත්වන අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට භාර දී ජනාධිපතිවරයා පසෙකට වී සිටීමයි. අද එවැන්නක් කළ නොහැකිය.

මහ මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීම ජනාධිපතිවරයාට තහනම් වුවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සමඟ ආණ්ඩු පිහිටුවමින් රට ඉදිරියට ගෙනයෑමේ සම්පූර්ණ වගකීම 19 වැනි සංශෝධනය විසින්ම පවරා ඇත්තේ එම ජනාධිපතිවරයාටමය. ආණ්ඩුවේ ප්‍රධානියාත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාත්, වන්නේ ජනාධිපතිවරයාමය. එවන් ආණ්ඩුවක් කරන සෑම දේකටම ජනාධිපතිවරයාටද වගකීමට සිදුවේ.

කලින් මෙන් ජන වරම ඇත්තේ කාටදැයි උරගා බැලීමට නොහැකි නිසා ආසන්න ජනවරමට ගරු කොට ජනාධිපතිට පාලනයෙන් අයින් වී සිටීමටද දැන් නොහැකිය. 2018 පළාත් පාලන ඡන්දයෙන් පසු, එජාපයට ජනවරමක් නොමැති බවත් ඔවුන් දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම මඟහරිමින් සිටින්නේ ඒ නිසාම බවත් මුළු රටම දනී. එවන් තත්ත්වයක් යටතේ, ජනාධිපතිතුමාට එජාපයට රට භාරදී පසෙකට වී සිටීමට කොහෙත්ම නොහැකිය. 19 වැනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන මේ විකෘතිය නිසා රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම අවුල් වීමේ අවදානමක් ඇත.

අපේ රට ඉදිරියේ ඇති තුන්වැනි බිය වන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාවයි. ආණ්ඩුව එමඟින් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රාජ්‍යයන්වලට සමාන බලතල සහිත ෆෙඩරල් ඒකක නවයකට ලංකාව කැඩීමය. අද මධ්‍යම ආණ්ඩුව සතු සියලුම බලතල ඒ ඒ පළාත්වලට බෙදා දීමට නියමිතය. මේ හැම පළාතකටම වෙනම පොලිසියකුත් ඇති කිරීමට නියමිතය. හදිසි අවස්ථාවකදීවත්, මධ්‍යම ආණ්ඩුවට රටේ සාමය හා ඒකාග්‍රතාව පවත්වාගෙන යෑමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වන තරමට මධ්‍යම පාර්ලිමේන්තුවත් නීති පද්ධතියත් බෙලහීන කිරීමට එමඟින් ප්‍රතිපාදන කෙටුම්පත් කර ඇත. මෙම නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත්තේද 19 වැනි සංශෝධනය කෙටුම්පත් කර මුළු රටම අවුල් ජාලාවක් බවට පත් කළ අයමය.

මේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ පාර්ශ්වයම 2017දී පළාත් පාලන හා පළාත් සභාවලට අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ අලුත් මැතිවරණ ක්‍රමය ගෙන ඒමට උඩ පැනගෙන කටයුතු කරපු අයම දැන් කියන්නේ ඒ ක්‍රමයට නම් ඉදිරියේ මොනම ඡන්දයක්වත් පවත්වන්න එපා කියලාය. මේ පිරිසම හැදූ අලුත් ව්‍යවස්ථාව සම්මත වුවහොත් රටක් හැටියට ශ්‍රී ලංකාවේ පැවැත්ම අවසන් වෙනු ඇත. අපට ආරංචි වෙන ආකාරයට, මේ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත්‍රිවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව අද මරණ තුනකට මැදි වී සිටී. මෙම තුන් බියෙන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ මීට කලින්ද ජයගත නොහැකි යැයි කියූ අභියෝග ජයගෙන ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිඵල පෙන්වා ඇති මගේ නායකත්වය යටතේ ඇති විපක්‍ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon