සම්මානයක් ගන්න 'මව්බිම' පත්‍රයේ පළවූ වාර්තා මට වැඩියෙන්ම පිහිට වුණා

  👤  2672 readers have read this article !
By mawbima 2019-01-10

අම්බලන්ගොඩ - ධර්මදාස සිරිවර්ධන

මගේ බලාපොරොත්තු ඉටු කරමින් ජනාධිපති සම්මානය ගන්න පිහිට වුණේ 'මව්බිම' පුවත්පතයි.

කුඩා කළ සිටම පරිසරයට, වනයට, සතුන්ට, සමනලුන්ට, ගහ කොළට ආදරය කළ දමිඳු තිලාන් යමක් තේරෙන කාලයේ සිටම සිහින මැව්වේ පරිසරවේදියකු ලෙස ජනාධිපති සම්මානයක් ලබා ගැනීමයි. කරන්දෙණිය විදුහලේ ශිෂ්‍ය දමිඳු තිලාන් කීය.

එය කරන්නේ කෙසේදැයි නොදත්තද ඔහු ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන්, වැඩිහිටියන් එක් කර ගනිමින් පරිසර හිතකාමී වැඩසටහන් සංවිධානය කළේය. කුඩා කොල්ලකු කරන මහ වැඩ නිසා කවුරුත් ඊට උපකාර කළේය. කරන්දෙණිය විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන ඔහු සිය ගණන් පාසල් ළමුන් එක් කර ගනිමින් පරිසර වැඩසටහන් සංවිධානය කර දේශන පැවැත්වූයේ වියතකු ලෙසිනි.

එතැනින් නොනැවතී කැලේ ගොස් විවිධ පරිසර වෙනස් වීම් අධ්‍යයනය කළේය. පාරවල ගස් සිටුවූයේය. මුහුදු වෙරළට කණ්ඩායම් සමඟ ගොස් වෙරළේ අපිරිසුදු තැන් පිරිසුදු කර ගස් සිටුවා පැමිණියේය. එතැනින් නතර නොවී ඒවා ගැන පසු විපරම් කළේය.

කෙසේ වුවද ඔහුගේ පුංචි බලාපොරොත්තු අද වන විට මල්පල ගැන්වී ඇත. ඔහුගේ මතය වූයේ ඔහුගේ වැඩසටහන් මාධ්‍ය මඟින් ප්‍රචාරය වුවහොත් සම්මානයක් ලැබෙන බවයි. එනිසා ඔහු මාධ්‍යවේදීන් හමුවී බැගෑපත් විය. ඒ අනුව ඉන් වැඩිම ලිපි ප්‍රමාණයක් පළ වී ඇත්තේ 'මව්බිම' පුවත්පතේ බව ඔහු නිහතමානීව පවසයි.

කරන්දෙණිය විදුහලට වසර 75ක් සපිරෙන දා පැවැත්වෙන සැණකෙළියේ මහ වැඩ කොටසක් ඉටු කළේය. එහිදී ඔහු මෙසේ පැවසීය.

මම කළ වැඩසටහන්වලින් කීපයක්ම 'මව්බිම' පුවත්පතේ පළවුණා. ඒවා මම එකතු කරගෙන ලැමිනේට් කරල තියා ගත්තා. තවත් පිටපත් අරගෙන පාසැල්වල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනයටත් යැව්වා. ජනාධිපතිතුමාටත් පිටපත් යැව්වා. ඉතින් මගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව ඉටු වුණා. 'මව්බිම' පත්තරේ පළවූ වාර්තා ටික තමයි මට වැඩියෙන්ම පිහිට වුණේ. මම කළ වැඩ කොටස් ඒකෙන් පෙන්නන්න පුළුවන් වුණා. පරිසරවේදියකු වගේම මාධ්‍යවේදියකු වෙන්නත් මම හරි කැමතියි. මම උපන් මවුබිමටත් මට ජනාධිපති සම්මානය ගන්න පිහිටවුණු 'මව්බිම'ටත් මම පණ මෙන් ආදරය කරනවා" දමිඳු පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon