මන්නාරම ගෑස් ව්‍යාපෘතිය පසෙක දමා ස්වාභාවික වායු ගබඩා නැවක් ගේන්න හදනවා

  👤  2755 readers have read this article !
By mawbima 2019-01-10

මන්නාරමින් ගෑස් ගැනීමේ ව්‍යාපෘතිය සිදු නොකොට වායු ගබඩා නැවක් ස්ථාපිත කර ගෑස් ගැනීමෙන් රටට විශාල පාඩුවක් සිදු වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ ශ්‍රී ලංකා ජාතික මහ සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවකදීය. ඊයේ (09දා) පෙරවරුවේ රාජගිරියේදී පැවැති එම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.

ගෑස්වලින් බලශක්තිය නිපදවීමට ස්වාභාවික වායු ගබඩා නැවක් ස්ථාපිත කිරීම දේශපාලනඥයන්ගේ සාක්කුවලට මුදල් ලැබෙන රටට විශාල පාඩුවක් සිදු වෙමින් ණය බර වැඩි කරන වහල්භාවය වැඩි කරන ව්‍යාපෘතියක් ලෙසයි හැඳින්විය හැකි වෙන්නේ.

ස්වාභාවික වායු ගබඩා නැව කොළඹ ආසන්නයේ ස්ථානගත කිරීමට බලාපොරොත්තු වෙනවා. කොරියාවෙන් ගෑස් ගෙනත් පිරවීමටද නියමිතයි.

ජනාධිපතිතුමා පොරොන්දුවක් දී තිබෙනවා පුනර්ජනනීය බලශක්ති යොදා ගන්නවා කියලා. ඒත් එවැනි දෙයක් සිදු වෙලා නැති පසුබිමක ස්වාභාවික වායු නැවක් ස්ථාපිත කොට මිලියන ගණනක් වැය කරන්න හදනවා.

මේ ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලයේ සම්මත වුණාද දන්නේ නැහැ. ඒත් 'ස්විස් චැලේන්ජ්' පනත අනුව ටෙන්ඩර් කැඳවා තිබෙනවා විදුලිබල මණ්ඩලය විසින්.

ලංකාවට විදුලිය හා ගෙවල්වලට ගෑස් සැපයීමේ මේ ව්‍යාපෘතිය ව්‍යාපාරයක් පමණයි. ඇයි අපි කොරියාවෙන්ම මේ ගෑස් ගන්නේ. ඒ නිසානීතියට යටත් නැති වංචාකාරී ක්‍රියා නතර කරන්න කියලා අපි විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

'ස්විස් චැලේන්ජ්' යටතේ ටෙන්ඩර් කැඳවීම නතර කරන ලෙස අපි ප්‍රකාශ කරනවා.

මේ නැවේ ආයු කාලය අවුරුදු 20යි. මෙය කළ යුතුම ව්‍යාපෘතියක් නම් අවුරුදු 40ක ආයු කාලයක් තිබෙන නැව් ගන්නේ නැත්තේ ඇයි? ලංකාවට වඩා 24 ගුණයක් සාගරය විශාලයි. ඒ නිසා ශ්‍රී ලංකාව පුංචි රටක් නොවෙයි.

අපට ගෑස් අවශ්‍ය ප්‍රමාණයට වඩා 4 ගුණයක් විශාල නැවක් ගන්නේ ඇයි? එම නැවෙන් වෙනත් ජාත්‍යන්තර නැව්වලට ගෑස් පටවන්න පුළුවනි. ඒකෙන් අපේ රටට ලාභයක් නැතත් අපේ මුහුද භාවිත කරමින් විදේශ සමාගම්වලට ලාභ උපයන්න අවස්ථාව සැලසෙනවා.

අවුරුදු 20කින් පසුව තමයි නැව අපේ රට සතු වෙන්නේ. හැබැයි එතකොට නැව බංකොලොත් වෙලා අපට වැඩක් වෙන්නේ නැහැ. ඒ නැවට අපි රුපියල් කෝටි 23,652ක් තරම් විශාල මුදලක් ගෙවනවා. බදු විදියට පමණක් රුපියල් කෝටි 72,000ක් ගෙවනවා. ඒ නිසා මේ නැව ගැනීම රටට විශාල පාඩුවක් බව පැහැදිලියි.

මේ නැව කොළඹ ස්ථානගත නොකර මන්නාරමේ ස්ථානගත කළොත් අනාගතයේ අපේ රටේ ගෑස් ඊට ගබඩා කළ හැකියි.

රජයේ කොටස 49% ප්‍රමාණවත් නැහැ. මේ නැව ඔස්සේ ජාත්‍යන්තර නැව්වලට ගෑස් පැටවීමට ඉඩ දිය යුතු නැහැ. අපේ සාගර සම්පත භාවිත කරමින් ජාත්‍යන්තර සමාගම් ලාභ ලැබීම තමයි සිදු වෙන්නේ.

අපේ රටේ ගෑස් තිබෙනවා. අපේ රටේ ගෑස් ගන්න ටෙන්ඩර් කැඳවා තිබියදී වසර 20ක් වෙනකම් ජාත්‍යන්තර සමාගමකින් ගෑස් ගත යුතු නැහැ.

අපේ රටට ස්වාභාවික වායු නියාමන මණ්ඩල පනතක් සම්මත කර ගත යුතුයි. ඒක නුදුරු දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා. මිල, ප්‍රවාහනය, බෙදා හැරීම ආනයනය වෙනුවෙන් නීතියක් අවශ්‍යයි.

ගෑස්, ගල්අඟුරු සහ ඉන්ධන මතයි පසුගිය සියවස ලෝකය ගමන් කළේ. අද ලෝකයේ ගල්අඟුරු බලාගාර වසා දමමින් තිබෙනවා.

තවත් වසර දෙකකට පසුව ප්‍රතිලාභ ලැබෙන අවාසිදායක ව්‍යාපෘතියකට යනවට වඩා මන්නාරමෙන් තෙල් ගැනීම වඩා හොඳයි.

ආචාර්ය නිමල් ද සිල්වා,
ලෝකයේ බොහෝ රටවල ස්වාභාවික ගෑස් පාවිච්චි කරනවා. අපට මන්නාරමේ ගෑස් තියෙනවා. විදේශිකයන් ගෑස් ගන්න එන්නේ අප පාවිච්චි කරනවා නම් පමණයි. අපේ රටෙත් ගෑස් විකුණනවා නම් එල්.එන්.ජී. බවට පත් කළ යුතුයි. ඒකට ඩොලර් බිලියන 10ක පිරිවැයක් යනවා. වසර 7 - 8ක් ගත වෙනවා.

වසරකට ඩොලර් මිලියන 3ක් විදුලියට අපි වැය කරනවා. ගෑස් පාවිච්චි කළොත් අපට එතරම් පිරිවැයක් වැය වෙන්නේ නැහැ. පරිසර දූෂණයක් සිදු වන්නේ නැහැ.
අපේ ගෑස් නිධි භාවිත කළොත් කලාපයේ පොහොසත්ම රට බවට පත් විය හැකියි.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon