අද මේ රටේ තියෙන්නේ මාධ්‍ය දේශපාලනයක්

  👤  2740 readers have read this article !
By mawbima 2019-01-10

අපේ රටේ මේ වන විට මුළු ආර්ථිකයම බිඳ වැටී හමාරයි. ඒ විතරක්ද ණය කන්දක් බවට පත් වෙලා. අපේ රටේ සමස්ත සමාජ ජීවිතයම කඩා වැටෙන මට්ටමකට මේ වන විට රට පත් වෙලා. විනයක් නැති නීතියක් නැති සමාජයක් අපේ රටේ ගොඩනැඟී තිබෙනවා. 2016 වසරේ මෝටර් රථ අනතුරු සිදුවී තිබෙනවා 30,000ක්. දවසකට මෝටර් රථ අනතුරුවලින් 8 දෙනෙක් මිය යනවා. යුද්දෙදි මියගිය ප්‍රමාණයට වඩා වැඩියි වාහනවල හැප්පිලා මිය යන සංඛ්‍යාව. 2016 වසරේ රුපියල් 25,000කට වැඩි කොල්ලකෑම් 400ක් සිදු වෙලා තියෙනවා. ඒ විතරක්ද අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් 1200ක් කවර ගණයේ හෝ ලිංගික අපචාරවලට ලක්වෙලා. සියල්ල කඩා වැටී තිබෙන යුගයක ලාභ ලබන එකම ව්‍යාපාරය බවට පත්වෙලා තියෙන්නේ දේශපාලනය පමණයි යැයි ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක පවසයි.


කෙසේ නමුත් ගොඩනඟා ඇති අශිෂ්ට දූෂිත දේශපාලනයට එරෙහිව ශිෂ්ට සම්පන්න සත්‍ය ගරුක දේශපාලනයක් ස්ථාපිත කිරීමට හැකියාව තියෙන්නේ, දූෂිත නොවූ සත්‍ය ගරුක දේශපාලන ව්‍යාපාරයකට පමණක් බව ජනතාව තේරුම් ගත යුතු බවද හිඟුරක්ගොඩ තාරුකා මණ්ඩපයේදී පැවැති ජාතික විද්වත් සංවිධානයේ පොළොන්නරු දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙමින් දිසානායක මහතා පැවැසීය.


එහිදී අනුර කුමාර මහතා මෙසේද පැවැසීය.
කඩා වැටී ඇති ආර්ථිකය පිරිහීගිය දේශපාලනය කඩා වැටී ඇති සමාජය යළි සුවපත් කරන්නේ කොහොමද? මේ කාරණයට පණ පොවන්න තමයි ජාතික විද්වත් සංවිධානය තමන්ගේ ශ්‍රමය සහ කාලය කැප කරන්නේ. මෙහිදී අපට ජයග්‍රහණ කරන්න කරුණු ගණනාවක් තිබෙනවා. පළමු එක තමයි මේ රටේ ජනතාව සමඟ මතවාදී අරගලයක් කරන්න වෙනවා. ඒ මතවාදී අරගලයේ අයිතිකාරයා වෙලා තියෙන්නේ මාධ්‍ය. අද රටේ තියෙන්නේ මාධ්‍ය දේශපාලනයක්. සමහර මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂවල ගොදුරු වෙලා. සමාජ මාධ්‍යායතනත් එහෙමයි. මං දවසක තමුන්නාන්සේලාට මේ මාධ්‍ය ආයතන ටික නම් වශයෙන් කියන්නම්. ඔවුන් තමයි මේ රටේ තීන්දු තීරණ ගන්නේ. කොයි ප්‍රශ්නෙද අහන්නේ, කෝකද පෙන්වන්නේ කියලා තීරණය කරන්නේ ඔවුන්. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ෆොන්සේකයි තෙවරප්පෙරුමයි දෙන්නා බැන ගන්න එක රටේ ප්‍රවෘත්තියක් වන්නේ.


අදත් ප්‍රවෘත්තියක් නිර්මාණය වෙමින් තියෙනවා මේ රට බෙදන්න හදනවා කියලා. ඒ විතරක් නෙවේ. ඒකට ජනතා විමුක්ති පෙරමුණත් කොටස්කරුවෙක් වෙලා. නමුත් අපි එකක් සහතික කරනවා. මේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සක්‍රියව දේශපාලනය කරන තාක්කල් මේ රට බෙදන්න ඉඩ නොදෙන බව සහතික කරනවා.
අපි විශ්වාස කරනවා 1978 ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනි කියලා. සියලු ජනතාවට ගැළපෙන නව ව්‍යවස්ථාවක් අපේ රටට ඕනි. රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන එක බොරු. පාර්ලිමේන්තුවට 2016 නොවැම්බර් 9දාට යෝජනාවක් ගේනවා. ඒ යෝජනාවේ තියෙනවා ව්‍යවස්ථාව සභා සම්මත කර ගන්නා වූ කරුණු 33ක් ව්‍යවස්ථාවක් හදලා සම්මත කරගන්න පාර්ලිමේන්තුවට ගේනවා. ඒකයි අදත් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් වෙලා තියෙන්නේ. කථානායකගේ ප්‍රධානත්වයෙන් විවිධ කරුණු කාරණා අනුව මෙහෙයුම් කමිටු කීපයක් පත් කරන්න ඕනි. මේ මෙහෙයුම් කමිටු මේ වන විට 75 වතාවකට වැඩිය රැස්වෙලා සාකච්ඡා කරලා තියෙනවා. එහි අදාළ කරුණු පිළිබඳ කිසිම ස්ථාවරයකට තාම ඇවිත් නෑ.


ව්‍යවස්ථාව තුනෙන් දෙකකින් සම්මත වෙන්නේ නැතිනම් එතැනින්ම ඒ ව්‍යවස්ථාවේ ක්‍රියාවලිය ඉවරයි. බැරිවෙලාවත් ව්‍යවස්ථා සම්මත වුණොත් ඒක යනවා කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ආවට පස්සේ ඒක ගැසට් කරන්න ඕනි. ගැසට් කළාට පස්සේ පළාත් සභාවට යවන්න ඕනි. පාර්ලිමේන්තුව විවාද කරලා තුනෙන් දෙකක් සම්මත කරන්න ඕනි. තුනෙන් දෙකක් සම්මත වුණාට පස්සේ ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයට ලක් කරන්න ඕනි. ජනමත විචාරණයෙන් පස්සේ ජනාධිපති අස්සන් කරන්න ඕනි. ඔන්න ව්‍යවස්ථාව හරි.


රනිල් වික්‍රමසිංහ මහත්තයා බැඳුම්කර වංචාවේ හොරෙක් වුණත් එක්සත් ජාතික පාක්ෂිකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරෙක් කියලා පිළිගන්නේ නෑ. අපේ හොරා අපට හොඳයි කියනවා. ඒ විදියේ ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ. ඒ ජනතාව සමඟ තමයි අපිට අරගල සිදු කරන්න වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් එහෙමයි කොච්චර හොරකම් කළත් ඒ පක්ෂයේ සාමාජිකයන්ට අපේ හොරා අපට හොඳයි කියනවා. මේ කරුණුත් එක්ක අපි කොහොමද ජනතාව වෙනස් කරන්නේ. ඒක තමයි අපට තියෙන ප්‍රධානතම අභියෝගය.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ
ජාතික විද්වත් සංවිධානය හැටියට පෙබරවාරි 19දා කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදී අපි මේ මුළු මහත් ජනතාවටම, විද්වත් සියලු දෙනාටම ආරාධනා කරනවා එන්න කියලා. එදාට අපි ඉදිරිපත් කරනවා රටට ගැළපෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. අපි ජනවාරි 1දා ආරම්භ කළා සියලු දිස්ත්‍රික්කවල විද්වත් සංවිධාන පිහිටුවන්න. ඒ අනුව තමයි මේ දිස්ත්‍රික්කයේ මේ සමුළුව පවත්වා ජනතාව දැනුවත් කිරීම ආරම්භ කළේ.


පොළොන්නරුව පුලතිසි අධ්‍යාපන පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය සමන් කුමාර
මම 1988 උපාධිධාරි ගුරුවරයෙක් විදියට පොළොන්නරුවට ආවේ. ඒ එනකොට හිටපු ජේ‍යෂ්ඨයෝ අද මේ ශාලාවේ ඉදිරියෙන් ඉන්නවා. මම ආවේ ගම්පහ අලුත්ගම කෝරලේ ඉඳලා. වර්තමාන ජනාධිපතිතුමාත් ගම්පහ තමයි. එතුමා සියනෑකෝරලයේ. අපි දෙන්නාම එකයි. හැබැයි වයසින් මම විද්වත් වුණාට එතුමා විද්වත් නෑ. ඒකයි වෙනස.
මෛත්‍රිපාල මහත්තයාට මේ රටේ ලක්ෂ 62ක ජනතාව ඡන්දේ දුන්නේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් එයි කියලා නෙවෙයි. අපි කළේ රටට වැලඳිලා තිබුණු ලෙඩේට හොඳම බෙහෙත දුන්නා. තාවකාලික පිළියමක් විතරයි අර කියනවානේ අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.


ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
මම පොළොන්නරුවට ආපු වෙලේ විද්වත් සභාව පිහිටුවන්න ‍ෙදාළොස් දෙනෙක් හිටියේ. නමුත් අද මේ ශාලාව පිරෙන්න ඉන්නවා. යහපත් අරමුණෙන් ආරම්භ කරන දේ ඉතා විශාල බැම්මක් බවට පත්වෙනවා. මෙහි අරමුණ තමයි යහපත් දෙයක් හොඳ ආර්ථිකයක් ශිෂ්ට සම්පන්න සමාජයක් ඇති කිරීම.


සාහිත්‍යවේදී කමල් පෙරේරා
අපිට කිසියම් රැකියාවක් කරන ඕනෑම අයකුට කිසියම් වටිනාකමක් තියෙනවා. මේ විද්වතකුට මේ රටේ ඕනෑම පක්ෂයක තනතුරක් ගන්න ඉතාම ලේසියි. මේ කතා කරන අපිට වුණත් වේදිකාවකට නැඟලා කෑ ගැහුවා නම් රූපවාහිනි සංස්ථාවේ, ගුවන් විදුලියේ හා ලේක් හවුස් එකේ ලොකු තනතුරක් ගන්න පුළුවන්. අපි දන්නවා අද ප්‍රධාන පක්ෂවල වේදිකාවල නිවේදනය කරපු අය පවා මේ වන විට ලොකු පුටුවල වාඩිකරවලා තියෙනවා කියලා. එහෙම නම් මොනවාහරි වෙනසක් බලාපොරොත්තු පිරිසක් තමයි මේ විද්වත් මණ්ඩලයේ ඉන්නේ. ඒ වෙනස සිදු කිරීමට රටේ ජනතාවගේ සහයෝගය තිබිය යුතුයි. ඒ සඳහා මෙම විද්වත් සභාව වටා එක් රොක්වන ලෙස ඉල්ලා සිටිනවා.


හිඟුරක්ගොඩ - ප්‍රියා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon