මේ ආණ්ඩුව ඉන්නේ මරණය අබියසයි

  👤  2742 readers have read this article !
By mawbima 2019-01-10

ඇති වී තිබෙන ආර්ථික පසුබෑමෙන් රට ගොඩගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැති බවත් ආණ්ඩුව සිටින්නේ ස්වාභාවික මරණයක් අබියස බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඇය සඳහන් කර සිටින්නේ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ සිරකරුවකු වී සිටින බවයි.


ඊයේ (09දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රිවරිය වැඩිදුරටත් මෙසේද කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි,
ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වාභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප්‍රශ්නයක් වෙලා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට සම්බන්ධ අයට නියෝජ්‍ය ඇමැතිකමවත් නොදෙන්න ප්‍රවේශම් වෙලා තියෙනවා. එ.ජා.ප.ය ඇතුළේ තියෙන ගැටුම් දැන් තීව්‍ර වෙලා. සරත් ෆොන්සේකා, පාලිත තෙවරප්පෙරුම ද්වන්ද යුද්ධයක. ඒ වගේම මංගල සමරවීර හා රවි කරුණානායක ගලඋඩ සටනක.

රවි කරුණානායක කියලා තිබුණා මෝස්තරකාරයකුට මුදල් ඇමැතිකම හරි යන්නේ නැහැ කියලා. මෙහෙම එ.ජා.ප.ය ඇතුළේ ප්‍රබල ගැටීම් ඇති වෙන කොට මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය ගොඩගන්න බැරි බව මුළු ලෝකයම දන්නවා. මෙවැනි තත්ත්වයක් යටතේ ණය දෙන ආයතන, ආධාර දෙන ආයතන එන්නේ නැහැ. ආණ්ඩුව චීනය, ජපානය වැනි අපේ රටට ආධාර දීපු මිත්‍රශීලී රටවල් තරහ කර ගත්තා. මේ රටවල් සදාකාලිකව ශ්‍රී ලංකාවට මිත්‍රශීලී රටවල්. රනිල් වික්‍රමසිංහ වන්දනාමාන කරන බටහිර රටවලින් අපේ ආර්ථිකයට තල්ලුවක් ලැබිලා නැහැ. ඒ රටවල් අපේ රට සූරාකෑවා විතරයි.


අද රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයේ හිරකාරයෙක් වෙලා. පසුගිය කාලයේ ලංකාවේ ප්‍රධාන පත්කිරීම් කළේ රනිල් සම්පන්දන් හවුලයි. නමුත් විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබීමෙන් පසුව රටේ පුරවැසියන් සැනසුම් සුසුමක් හෙළුවා මේ කඳවුර කඩාවැටිලා සැබෑ විපක්‍ෂයට විපක්‍ෂ නායකකම ලැබීම ගැන. පවත්වන ඕනෑම මැතිවරණයක් අපි ජය ගන්නවා. අපි ඕනම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයක් දෙනවාද නැද්ද කියලා මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ යුතුයි.

ඒක එ.ජා.ප.යට තීරණය කරන්න බැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ,
පුවත්පත් වාර්තා කරලා තියෙනවා මේ මාසේ 10 වැනිදාට ඉන්ධන මිල වෙනස් වන බව. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් වෙලා ඉතා කෙටි කාලයකින් ඉන්ධන මිල අඩු කරලා එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දුන්නා. ඒ නිසා එ.ජා.ප.යට සිදු වුණා තෙල් මිල අඩු කරන්න. නියමිත කාලයට මැතිවරණය පවත්වන්න අවශ්‍යතාවක් නැති බව එ.ජා.ප. මන්ත්‍රිවරුම පවසනවා. ඒ වගේම වහාම ජනාධිපතිවරණයක් පවත්වන්නැයි එ.ජා.ප.යේ මන්ත්‍රිවරු ප්‍රකාශ කරනවා.


කුසලතා සපිරි ජනප්‍රිය ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් එ.ජා.ප.යෙන් ඉදිරිපත් කරන බව පාඨලී චම්පික කියනවා. එවැනි අයෙක් පසුගිය කාලෙම අපි එ.ජා.ප.යෙන් දැක්කේ නැහැ. එක්සත් ජාතික පෙරමුණ පසුගිය වසර 25ම හයර් කරපු අපේක්‍ෂකයෝයි ඉදිරිපත් කළේ. ඔය කියන කුසලතා සපිරි අපේක්‍ෂකයා වෙන්නෙත් රනිල් වික්‍රමසිංහම බව කැට තියලා කියන්න පුළුවන්. මහින්ද රාජපක්‍ෂ මහත්තයා දිනන්නේ ඒ අය ඉන්නකල් විතරයි කියලා පාඨලී චම්පික කිව්වත් ඔහුට අමතක වෙලා අපි පසුගිය පළාත් පාලන මැතිවරණය ජය ගත්ත බව.


ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon