19 වැනි සංශෝධනයට ඡන්ද සොයන්න ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කැන්ටිමටත් ගියා

  👤  2862 readers have read this article !
By mawbima 2019-01-10

නීතිය හා සාමය අමාත්‍යාංශය මේ වන විට ජනාධිපතිවරයා සතුව ඇති නිසා අල්ලස් හෝ දූෂණ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රජයේ මුදල් අවභාවිත කළ අයගෙන් එම මුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ පැවැසීය.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (9දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය අමාත්‍යාංශය ඇතැයිද ඒ නිසා රජයේ මුදල් අවභාවිත කර ඇති අයගෙන් එම මුල් ආපසු රජයට අයකර ගැනීමට කඩිනමින් අදාළ පනත පාර්ලිමේන්තුවට ගෙන එනු ඇතැයිද සමරසිංහ මහතා කියා සිටියේය.

මෙම පනත සම්මත කර අදාළ බලතල ලබාදීම යම් යම් හේතු නිසා පමා වූ බවද සමරසිංහ මහතා පැවැසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 9දා ජනාධිපති ලෙස දිවුරුම් දී ගෙවී ගිය වසර හතරේදී රට වෙනුවෙන් කළ මෙහෙවර යළි සිහිපත් කිරීම සඳහා මෙම පුවත්පත් සාකච්ඡාව කැඳවා තිබිණි.

පසුගිය වසර හතරේදී කිසි වැඩක් සිදුනොකළ බවට ඇතමුන් ප්‍රකාශ කරන බවත් තවත් පිරිසකට කළ වැඩ කොටස අමතක වී ඇති බවත් සමරසිංහ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය වසර 4 රටට කළ සේවය යළි සිහිපත් කිරීම තම යුතුකම යැයි කී සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ලෙස සතුටින් කළ මෙහෙය සිහිපත් කරන බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.
2015 ජනවාරි 8දා පැවැති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 62කට වැඩි ඡන්ද ගණනක් ලබා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වුණා. ඊට හරියට මාස තුනකට පස්සේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවට තීරණාත්මක දරුණු වාර්තාව ගෙන ආවා. රාජ්‍ය නායකයා, සේනාධිනායකයා මෙන්ම ආරක්ෂක ඇමැතිවරයා ලෙස ඒ අභියෝගයට නිර්භීතව මුහුණ දෙන්න ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා. ඒ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී තිබූ ජාත්‍යන්තර පිළිගැනීම, විශ්වාසය හා ප්‍රසාදය හරහා යුද අපරාධ චෝදනාවලින් රටත්, රණවිරුවාත් බේරා ගත්තු හැටි සමහරුන්ට අද අමතක වෙලා.

සියලු ජාතීන්ගේ ඡන්දය ලබාගෙන රට තුළ සංහිඳියාව සැබෑවක් බවට පත් කළා. විදේශ විනිසුරුවන් ලංකාවට ගෙන ඒමට පිරිසක් ගෙන තිබූ තීරණයට එරෙහි වී එය නතර කිරීමට ජනාධිපතිවරයා සමත් වුණා. දරුස්මාන් වාර්තාව පරාජයට පත්කර රටට එරෙහිව ගෙනා යෝජනාවට අභීතව මුහුණ දුන්නා.

පසුගිය වසර හතර තුළ ස්ථාපිත අධිකරණ, විගණන කොමිසම ඇතුළු කොමිෂන් සභා පත් කළා. විශේෂයෙන්ම විධායක ජනාධිපති බලතල අඩු කරගෙන ජනාධිපති ධුර කාලය වසර පහකට අඩු කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට පාර්ලිමේන්තුවේ එජාපයට තිබුණේ මන්ත්‍රි ආසන 54යි. නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කැන්ටිමට ඇවිත් සන්ධාන මන්ත්‍රිවරු හමුවේ කරුණු පැහැදිලි කරලා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න කටයුතු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහත්තයා විතරයි 19ට අත ඉස්සුවේ නැත්තේ.

මෙරට කෘෂි කර්මාන්ත වෙනුවෙන් ජනාධිපතිවරයා කළ මෙහෙය විශිෂ්ටයි. කළු ගඟ මොරගහකන්ද ව්‍යාපෘතිය කෘෂිකර්මාන්තය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යෝධ ව්‍යාපෘතියක්. උතුර මැද පළාත්වල වකුගඩු රෝග නිවාරණයට විශාල වැඩකොටසක් කළා. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල හමුදාව සතු කරගෙන සිටි ඉඩම්වලින් සියයට 98ක්ම මේ වන විට ඉඩම් හිමියන්ට යළි භාරදීලා. එම ප්‍රදේශවල රජයේ ඉඩම් 97%ක්ම මේ වන විට මුදාහැරලා.

ශිරාන් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon