කතාවක් නැතිවම ඉන්දියාවට බැටේ දීල කප් එක ගෙනාපු අපේ කොල්ලෝ

  👤  1572 readers have read this article !
By mawbima 2018-12-16

ජයග්‍රහණයක පිපාසයෙන් වේළි වේළි සිටිනා මෙරට ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට තරමක හෝ සිතට හා ගතට සහනයක් දැනෙන ප්‍රවෘත්තියක් පසුගිය සතියේ අසන්නට ලැබුණා කීවොත් නිවැරැදියි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් බවයි.

නමුත් එම ප්‍රවෘත්තිය ඇසෙන තෙක්ම එවන් ශ්‍රවණාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිටියාදැයි බොහෝදෙනෙක් නොදැන සිටියාට සැකයක් නැත. හේතුව ඒ තරමට ඔවුන් පිළිබඳව ප්‍රසිද්ධියක් නොවන්නට තරම් කටයුතු සිදුවී ඇත. එනම් ඔවුන්ගේ දක්ෂතාවන්ට තබා ඔවුන් උරුම කරගත් ශාරීරික දුබලතාව පවතින සමාජ ක්‍රමය විසින් උලුප්පා පෙන්වීමේ ප්‍රවණතාව එකී අප්‍රසිද්ධියට පාදක වන්නට ඇත. නමුත් ඇසීම දුර්වල මුත් කතා කිරීමට නොහැකි වූත් ඔවුන් දෙස අවධානයෙන් බැලීමට වුවමනාවක් නැති බොහෝ දෙනකුට ඔවුන්ගෙන් සැදුම්ලත් ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම එක්තරා අන්දමක පාඩමක්ද අප සමාජයට ලබාදී ඇත්තාක් සේ පෙනේ. එනම් වැඩ පෙන්වන්නට කතාව අත්‍යවශ්‍ය නැති බවය. තවත් විදියකින් කිවහොත් කටින් පමණක් වැඩ පෙන්වන බොහෝ දෙනකුට මෙම ශ්‍රවණාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ හොඳ පාඩමක් කියාදී ඇත.

ක්‍රියාව කෙසේ වෙතත් කතාවෙන් වැඩ පෙන්වන මෙවන් සමයක නිහඬව තම මවුබිමට කීර්තියක් අත්කර දුන් ගිමඳු මැල්කම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම නිහඬව කරන සේවය ඇගැයීමක් ලෙස මෙම සටහන තබන්නට අවස්ථාව සලස්වාගත් අතර ඔවුන් එවන් ජයග්‍රාහී මාවතකට ගෙන එන්නට උරදුන් පිරිසගෙන් වැඩි යමක් දැන ගන්නට මෙම ලියුම්කරු කළ උත්සාහයද සාර්ථක විය. එවන් අය අතරින් මුලින්ම අදහස් විමසන්නට සම්බන්ධ කර ගත්තේ මෙම ක්‍රිකට් කණ්ඩායම නිර්මාණය කරන්නට ස්ථාපිත කරගත් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ ආරම්භක සභාපතිනිය අනුලා රංජනී මහත්මියයි.


1996 වසරේදී මෙරට තුළ ස්ථාපිත කරගත් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ පුරෝගාමියකු ලෙස කාන්තාවක් කටයුතු කිරීම යම් විරල සිදුවීමක් වුවද නැති බැරි එහෙත් හැකියාවක් ඇති පිරිසකට පණපොවන්නට මූලිකත්වය ගෙන කටයුතු කළ අනුලා රංජනී මහත්මියට මෙසේ අදහස් දක්වන්නට ඉඩ ලබා දුන්නේ වැඩි හරස් ප්‍රශ්නවලින් තොරවයි.

1996දී අපි මේ සංගමය පිහිටුවා ගත්තා. ඒ කාලෙ පාසල් ගිය විශේෂ අවශ්‍යතා වූවන්ගේ මවුපියන් එකතුවෙලා කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස කොළඹ නගර සභාවට අනුබද්ධ නොමෑන්ඩ්ස් ක්‍රීඩා සමාජය පරිශ්‍රයේදී අපි මේ ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය පිහිටුවා ගත්තා. ඒ අවස්ථාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු හේමජිත් වජිර කුමාර මගේ පුතෙක්. ඔහු කොළඹ මහානාම විද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදියට අධ්‍යාපනය ලබද්දී මෙම ක්‍රිකට් කණ්ඩායමට 1996දීම බැඳුණෙ. ඔහු අද ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරනවා. ඒ කාලෙ නොමෑන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ ජයලත් අපොන්සු මහතා අපේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසත් කටයුතු කළා. ඒ අනුව අපිට 1996දීම ඕස්ට්‍රේලියාවේ පැවැති පන්දු වාර 50 ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානයටත් සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණා. එහිදී අපිට හිමි වුණේ 5 වැනි ස්ථානයයි.

කෙසේ වෙතත් මෙවන් සාර්ථක මට්ටමකට තම කණ්ඩායම ගෙන එන්නට බොහෝදෙනාගෙන් ලැබුණු සහයෝගය ගැනද විස්තර කරමින් අදහස් දැක්වූ රංජනී මහත්මිය.

"අපට 1996 ලෝක කුසලාන තරගාවලියට යන්න හැකියාව ලැබුණේ තිස්ස කුරුකුලනාථ මහතා ප්‍රමුඛ මොරටුව 'එක්ස්පෝ' ආයතනයෙන් ලබාදුන් අනුග්‍රාහකත්වය නිසයි. කොහොම නමුත් 2000 වසර තෙක්ම අපි කොළඹ පුහුණුවීම් කළත් අපේ පුහුණුකරු අපෝන්සු මහතා කොළඹින් මොරටුවට ස්ථාන මාරුවීමත් සමඟම අපේ පුහුණුවීම් කටයුතුත් එදින සිටම සිදු කෙරෙන්නේ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදියි. ඒ සඳහා මොරටුව නගර සභාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අපිට ලැබෙන සහයෝගය අගය කරනන් ඕන. මම තවමත් මූලික සභාපති තනතුරෙහි කටයුතු කළත් දැනට අප සංගමයේ සභාපති (මොහොමඩ් නයිසර්), ලේකම් (හේමජිත් වජිර කුමාර), භාණ්ඩාගාරික (තිලක් සුමනදාස) යන ප්‍රධාන තනතුරු ඇතුළු සියලුම නිලතල දරන්නේ 1996දී ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්මයි.

අපේ පරිපාලන ව්‍යුහය ගැන කීවොත් දිස්ත්‍රික් මට්ටමෙන් සංවිධාන 5ක් තිබෙනවා. ඉන් තෝරාගත් පළමු ක්‍රීඩක සංචිතයට 60ක් ඇතුළත් කළා. ඒ සංචිතය අවුරුදු 4ක් පමණ පවත්වාගෙන ගොස් මීට මාස 5කට කලින් ඉන් 24ක් තෝරගත්තා. ඊට පසු විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා අවසන් මාස තුන තෙක් ඔවුන් පුහුණු කරලා ඉන් අවසන් 15 දෙනා තෝරගත්තා. ප්‍රධාන පුහුණුකරු ජයලත් අපෝන්සු මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ පුහුණුකරුවකු වන උෂාන්ත ගුණරත්න මහතාගේ සහයෝගයත් මෑතක සිට අපට ලැබෙනවා. ඒ වගේම මින් පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම භාරව කටයුතු කළ ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය අපේ කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරනවා. ඇයගේ දායකත්වයත් අපට ලොකු ශක්තියක් වුණා" යනුවෙන් පැවැසුවාය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් වත්මන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ආදර්ශයක් කරගත හැකි මට්ටමක පවතිනු ඇතැයි සිතිය හැක්කේ, එක් පුහුණුකරුවකුට පමණක් මසකට රුපියල් මිලියන 6ක් ගෙවා පුහුණුව ලබන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන් නොව ශ්‍රවණාබාධිත ක්‍රීඩකයෝ දිනෙන් දින ප්‍රගතියක් පෙන්වා ඇති නිසාය. එනම් 96දී ලෝක කුසලානයට (පන්දු වාර 50) සහභාගි වී 5 වැනි තැන ගත් ශ්‍රවණාබාධිත පිල 2005 ඊළඟ ලෝක කුසලානයේදී 4 වැනි තැනට පත්ව ඇත. ඉන්පසුව 2007දී ආසියානු ක්‍රිකට් කුසලානයේදී (පන්දු වාර 50) 3 වැනි තැන දිනාගත් ඔවුන් තවත් අවුරුදු 5කට පසුව එම තරගාවලියේදීම 2 වැනි තැන හිමි කරගෙන ඇත. එසේම 2017දී ආසියානු ක්‍රිකට් කුසලානයේදීද අනුශූරතාව රැකගත් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් 2018 ප්‍රථම වරට පැවැති විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට සමත් විය.

එම අවසාන මහා තරගයේදී ඉන්දියාව ඔවුන්ගේම රටේදී පරදා ලෝක ශූරතාවක් දිනා ගන්නට තරම් හැකි පිරිසක් කරන්නට ඔවුන්ට නොමිලේම යන මඟ කියා දුන් ප්‍රධාන පුහුණුකරු ජයලත් අපෝන්සුගෙන්ද ශ්‍රී ලංකා පිල ගැන තොරතුරු විමසුවෙමි.

"ගොඩාක් අඩුපාඩුකම් මැද මේ ගමන ඇවිත් දැන් කණ්ඩායම සිටින තැන ගැන මට ආඩම්බරයි. කිසිදු මුදලක් අය කර ගැනීමෙන් තොරව මගේ ස්වේච්ඡා සේවය ලබා දෙනවා. ඒ වගේම අපිට වෙනදා නැති විදියට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වගේම පෞද්ගලික ආයතනවලින් අනුග්‍රහය ලැබුණා. වත්මන් ජනාධිපතිතුමාගේ අරමුදලෙනුත් අපිට මෙවර ලෝක කුසලානයට යන්න අවශ්‍ය මුදල් ලැබුණා. ඒ කොහොම වුණත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන මට ලොකු සතුටක් වගේම විශ්වාසයක් තිබෙනවා. මෙම කණ්ඩායමේ ඉන්න නායක ගිමඳු මැල්කම් බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයේ සිසුවෙක්. ඔහු තුන් ඉරියව්වෙන් දක්ෂයෙක්.

ඔහු මෙවර තරග 3ක තරගයේ වීරයා වුණා. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියානු විස්තර විචාරකයෝ ඔහු හැඳින්වූයේ ලංකාවේ තවත් ජයසූරිය කෙනෙක් කියලයි. ඒ වගේ යාපනයේ මහා විද්‍යාලයෙන් ආපු වේග පන්දු යවන්නා කලීල් ඇලන් රෝස් ඉතාමත් දක්ෂයෙක්. මේ දෙදෙනා ඇතුළුව මේ කණ්ඩායමේ තුන් හතර දෙනෙක් අනාගතයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න තරම් දක්ෂයි කියලා මට හිතෙනවා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ තීරණයකට අනුව අපේ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට ගත්තොත් එහි සංවර්ධන සංචිතයට ඇතුළත් කරල මෙම ක්‍රීඩකයෝ තවත් දියුණු කරන්න පුළුවන්."

සිරිනාම රාජපක්ෂ

ඡායාරූපය _ මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon