2015 ජනවාරි 8දා ජනතාව ඡන්දය දුන්නේ ආණ්ඩු පෙරළියකට -නිර්මාල් රංජිත් දේවසිරි

  👤  2372 readers have read this article !
By mawbima 2018-12-14

කටාන - බර්ටි වීරසිංහ

2015 ජනවාරි අටවැනිදා සිදුකළේ තිබුණු ආණ්ඩුව පෙරළීම බවත් එසේ කළේ තිබූ ආණ්ඩුව නරක නිසා බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් තරුණ වෘත්තිකවේදීන්ගේ සංගමය සංවිධානය කළ 'ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදවමු' මැයෙන් මීගමුවේදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.

ජනවාරි 8 වැනිදා ආණ්ඩුව පෙරළීමට ලැබුණු ඡන්ද මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ ජනයා සංවිධානය කරන ලද දේශපාලන පක්ෂවලට ලැබුණු ඡන්ද නොවන බව සඳහන් කළ ආචාර්ය නිර්මාල් රංජිත් මහතා ජනතාව ඡන්දය දුන්නේ ආණ්ඩු පෙරළියක් සිදුකළ යුතු යැයි සෝභිත හිමියන් ඇතුළු තම කණ්ඩායම ඉදිරිපත් කළ මතයට බවද සඳහන් කළේය.

ජනවාරි අටවැනිදා වෙනස වෙනුවෙන් තමා තවදුරටත් පෙනී සිටින්නේ ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ සදාචාර වීරෝධී ක්‍රියාවට එරෙහිව පමණක් බවද පැවැති ආණ්ඩුව යුක්තිසහගත බව ලබාගැනීමට නොහැකි වූ බවද මහ බැංකු සිද්ධිය, මැතිවරණ නොපැවැත්වීම වැනි කටයුතු නිසා එම තත්ත්වය ඇතිවූ බවද ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.

රාජපක්ෂවරු යළි බලයට පැමිණිය යුතුද නැද්ද යන අභියෝගයක් අප ඉදිරියේ තිබෙන බවද ලංකාවේ සිටින දේශපාලන වශයෙන් ජනප්‍රියම තනි පුද්ගලයා මහින්ද රාජපකෂ බවද ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය.

2015දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන ලද අවස්ථාවේ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ජනමත විචාරණයකට යෑමට නිර්භීත වී නම් එම අවස්ථාවේ ජනමත විචාරණය පහසුවෙන් ජයගත හැකිව තිබුණු බව මෙම හමුව අමතමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය. මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ නම් සියලු ප්‍රශ්න අමතක කර ඔහු පරාජය කළ යුතු බවද එසේ කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කර ඒකාධිපති පාලනයකට යෑමට සිරිසේන මහතා උත්සාහ ගන්නා නිසා බවද විජේසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා දූෂණයට භීෂණයට එරෙහිව අරගල කළ අයකු නොවන බවද මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ආවේ පෞද්ගලික කරුණු මත බවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව පළමු පෙත්සම ඉදිරිපත් කළෙත් පළාත් පාලන ඡන්දය කල් දැමීම, අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආවේත් සිරිසේන ජනාධිපතිවරයාගේ වුවමනාවට බවද මේ සියල්ල බලයට ඇති කෑදරකම නිසා ඇතිවූ බවද සරත් විජේසූරිය මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රනිල්ගේ ආණ්ඩුවේ ශේෂපත්‍රය හොඳ නැති බවද අද ඔහු යම් අර්බුදයකට ලක්වී ඇත්තේ ඔහුගේද වරදින් බව විජේසූරිය මහතා පවසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොසිතූ මොහොතක ජනාධිපතිවරණය කැඳවූ බවද ඔහුට අභියෝග කිරීමට කෙනකු නොමැතිවීමෙන් තම කණ්ඩායමට තිබූ හදිසියට මෛත්‍රිපාල සිරිසේන මහතා තෝරාගැනීම මුළාවීමක් මෙන්ම ලොකු වැරදීමක් බවද පැවසූ මහාචාර්යවරයා, සිරිසේන මහතා දේශපාලන වැඩබිමේ වහලෙක් ලෙස කටයුතු කළ අයෙක් බවද ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩපණ කළේද ඔහුගේ වුවමනාවට බවද සඳහන් කළේය.

මෙම හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපති ක්‍රමය අවසන් කරන්නට මහජන න්‍යායපත්‍රයට අස්සන් කළ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන් දින දෙකකට පසු ජනමත විචාරණයකට නොයන කරුණු පමණක් වෙනස් කිරීමට හෙළ උරුමය සමඟ ගිවිසුමක් අස්සන් කළ බව සිහිපත් කළේය.

19 සංශෝධනය මඟින් බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට නොහැකිවූ බවත් මහ මැතිවරණයේදී තම පෙරමුණට සරල බහුතරයවත් නොතිබුණු බවද එහෙත් 19 සංශෝධනය තුළින් යම් පමණක වෙනස් කම සිදු කළ බවද පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon