මහින්දානන්ද අලුත්ගමගේට එතෙර යන්නට උසාවියෙන් අවසර දෙයි

  👤  3189 readers have read this article !
By mawbima 2018-12-13

අමිල අබේරත්න

පසුගිය රජය යටතේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් හා දාම් බෝඩ් මිලදී ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නිකුත් කර ඇති විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (11දා) නියෝග කළේය.

ඉදිරි නඩු දිනය වන ලබන වසරේ මාර්තු 13 වැනිදා තෙක් විදේශ ගමන් තහනම තාවකාලිකව මහෙස්ත්‍රාත්වරයා අත්හිටුවනු ලැබූ අතර වෛද්‍ය පරීක්‍ෂණයකට සහ එංගලන්තයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සඳහා සහභාගී වීමට විදේශ ගතවීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළේය.

සිද්ධියට සම්බන්ධ සතොස හිටපු සභාපතිවරයකු වන නලීන් රුවනජීව යන අය සහ හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී ඇත.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා නිකුත් කළ ලියුමකට අනුව සතොස මඟින් කැරම් සහ දාම් බෝඩ් දහහතරදහස බැගින් මෙරටට ආනයනය කර එලෙස ගෙන්වූ කැරම්සහ දාම් බෝඩ් බියගම පිහිටි එක්සත් ජනතා නිදහස් පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් මඟින් රටපුරා බෙදාහැරියේ යැයි ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වේ.

2014 වසරේ අග භාගයේදී මෙය සිදුව ඇති අතර ලක් සතොස ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී 2015 වසරේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අරඹා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon