අද-හෙට මහ මැතිවරණයක් පවත්වන්නේ නෑ

  👤  3253 readers have read this article !
By mawbima 2018-12-11

ළඟදීම මහ මැතිවරණයක් පැවැත්වෙන බවට ඇතැම් පිරිස් මත පළ කළ ද කිසිදු මැතිවරණයක් හදිසියේ නොපවත්වන බවත් නොකෙරුණු වැඩ අඩුපාඩුකම් හිඩැස් සපුරාගෙන වැරදි නිවැරදි කරගෙන ගමක් ගමක් පාසා සංවර්ධන ඉලක්කයන් සපුරා ඉදිරි මාස 10 -12 කාලය තුළ නියමිත කාලවකවානුවේදී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

දිවයින පුරා සිටින එ.ජා.ප. ආසන සංවිධායකයන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු එ.ජා.ප. ක්‍රිකාකාරීන් ඊයේ (10දා) පෙරවරුවේ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා ඇතුළු සියලුම මැති ඇමැතිවරුන්ගේ සහායෙන් රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් ඉදිරි මාස 10-12 අතර ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රතිවාදීන් විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව, ව්‍යවස්ථා විරෝධීව අතහැර දැමූ සංචාරක කලාප, ධීවර කලාප, පාසල් ළමයින් රක්‍ෂණය, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇතුළු සියලු සංවර්ධන කටයුතු මෙන්ම දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට සහන සැලසීම, අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ, විරැකියාව දුරු කිරීම ඇතුළු ජනතා අවශ්‍යතාවන් සඵල කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

එ.ජා.ප. නියෝජ්‍ය නායකයා එහිදී මෙසේ ද සඳහන් කළේය. පසුගිය ඔක්තෝබර් 26දා සිට ජනාධිපතිවරයා ප්‍රමුඛ ප්‍රතිවාදීන් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ව්‍යවස්ථා විරෝධීව, නීත්‍යනුකූල නොවන අයුරින්ගත් සෑම පියවරක්ම මේ වන විට අසාර්ථකවී තිබෙනවා. උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්‍ෂිත කරමින් නීතිය ක්‍රියාත්මක වී තිබෙනවා. අධිකරණය ලබාදෙන තීන්දු තීරණ අනුව අපට අවශ්‍ය වී ඇත්තේ ඓතිහාසික ජන රැල්ලක් නිර්මාණය කර ශක්තිමත් උදේ‍යාගිමත් විශාලතම ජන රැල්ලක් බවට පරිවර්තනය කිරීමයි. ඒ සියලු දෙනාගේ සහාය අපට අවශ්‍ය වෙනවා. මේ මස 17දාට යොදාගෙන තිබෙන එම ජන රැලිය අති සාර්ථක විශිෂ්ටතම ජන රැලිය බවට පත් කර අතුරු සිදුරු නැතිව අපේ ජන රැලිය ඒකරාශී කරන්න ඕන.

මීට වසර දෙකකට පමණ අපේ ප්‍රතිවාදීන් ගාලු මුව‍ෙදාර පිටියේ අති විශාල ජන රැලියක් සංවිධානය කළා. එදා පැමිණි සෙනඟට වැඩි පිරිසක් අපේ ජන රැලියට සහභාගි කරගත යුතුයි. අප මේ ජන රැලිය සංවිධානය කරන්නේ ඔවුන් අපෙන් උදුරාගත් රාජ්‍ය බලය යළිත් අප අතට ලබාගෙන අපේ අඩුපාඩු මඟහරවාගෙන වැරදි නිවැරදි කරගෙන ශක්තිමත් දේශයක් ගොඩනඟාගෙන සාර්ථක ඉදිරි ගමනක් යෑමටයි. ඉදිරි මාස 10-12 කාලය තුළ මේ රටේ පළාත් 9ක දිස්ත්‍රික්ක 25ක ග්‍රාම නිලධාරි වසම් 14320 ජීවත් වන සෑම පුරවැසියකුටම සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දී ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම අගමැතිතුමා ප්‍රමුඛ අප සැමගේ ඒකායන අරමුණයි. බිම් මට්ටමේ ජනතාවගේ හද ගැස්ම ජන විඥානය හඳුනාගෙන ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට අප ගත වූ වසර තුනහමාරක කාලය තුළ කරන ලද සැලසුම් හා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සියල්ල අපේ ප්‍රතිවාදීන් විනාශ කළා. ඔවුන් මෙසේ පළිගන්නේ අපෙන් නොව මේ රටේ දුක් විඳින අහිංසක අසරණ ජනතාවගෙන් බව අමතක කිරීම ඉතා අභාග්‍යයක්.

ඒ නිසාඔබ සියලු දෙනාගේ සහායෙන් රාජ්‍ය බලය ලබා ගත් වහාම යල් පැනගිය නීති රෙගුලාසි පසෙක දමා අපේ ගමට නගරයට ගැළපෙන ජනතාවාදී පොදුජන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. පසුව කරන්නම්, බලමු, ඉදිරි සැලසුම්වලට ඇතුළත් කරමු කියන වචනය ඔබට ඉදිරියේදී අහන්න ලැබෙන්නේ නැහැ. අපි ගමක් ගමක් පාසා, පවුල් ඒකකයක් පාසා හැම පාක්‍ෂිකයෙක් පාසා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඉහළ සිට පහළට නොව පහළ සිට ඉහළට ව්‍යාප්ත වන ආකාරයටයි. අපේ සංවර්ධන සැලසුම් සැකසෙන්නේ ඔබෙන් ලැබෙන අදහස්, යෝජනා පදනම් කරගෙනයි. දුක් විඳින ජනතාවගේ දුක් කඳුළු පිස දමා ඔවුන්ගේ සිතට සැනසීමත් ගතට නිවනත් ලබාදීම අගමැතිතුමා ප්‍රධාන අප සැමගේ එකම අපේක්‍ෂාවයි.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon