කෝටි 277 ක් වටිනා හෙරොයින් තොගයේ ප්‍රධාන සැකකරු කැලණි ගඟට පැන පලා යෑමට සූදානම් වෙද්දී දැලේ

  👤  2362 readers have read this article !
By mawbima 2018-12-10

කොළඹ _ එම්.සී. පෙරේරා,කිතුල්ගල-තරින්ද රත්නායක

බේරුවල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 277ක හෙරොයින් තොගයේ ප්‍රධාන සැකකරු යටියන්තොට ප්‍රදේශයේදී කැලණි ගඟට පැන පලා යෑමට තැත් කිරීමේදී පසුගියදා (07දා) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගය සමඟ පොලිස් භාරයට ගත් යාත්‍රාවේ හිමිකරු වන එම පුද්ගලයා දිනයාදුර දුලිප් ද සිල්වා නමැත්තෙක් බවත් ඔහු බේරුවල ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම පුද්ගලයා සන්තකයේ රුපියල් ලක්ෂ 15ක මුදලක් තිබූ බවත් පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය තොගය සමඟ ඉකුත් 05දා අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අතර මෙම සැකකරුගේ සහෝදරයා සිටින බව පොලිසිය කියයි.
නැවක් මඟින් පාකිස්තානයේ සිට රැගෙන ආ කිලෝ 231කින් යුත් මත්කුඩු ජාත්‍යන්තර මුහුද මැදදී මෙම සැකකරුට අයත් යාත්‍රාවට ලබාදී ඇති බවත් අනතුරුව ඩිංගි යාත්‍රාවට එම මත් කුඩු තොගය ලබා දී තිබෙන බවත් පොලිසිය කියයි.

එම යාත්‍රාවේ මෙම සැකකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු සිටි බවට තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන් සියලු දෙනා ප්‍රදේශය හැර පලාගොස් තිබිණි. බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාට මෙම පුද්ගලයා යටියන්තොට නගරයේ බැංකුවක් අසල රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වී විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී සැකකරු කැලණි ගඟට පැන පලා යෑමට කළ උත්සාහයේදී පොලිස් නිලධාරීන් දැඩි වෙහෙසක් දරා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයාට අයත් බහුදින ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරායේ වෙරළාරක්ෂිත පොලිස් රැකවල් මැද රඳවා තබා ඇතැයි පොලිසිය කියයි.

මෙතරම් මුදලක් ඔහු සන්තකයේ තබාගෙන සිටියේ රටින් පලා යෑමටද යන්න සොයා බලන බවද පොලිසිය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon