තම සාමාජිකයන් කුලී ගමනකින් අය කරන මුදලින් රුපියල් දහයක් අඩුකරන්නේ නැත්නම් ඊට එරෙහි වන බවට තර්ජනය කරනවා

  👤  713 readers have read this article !
By mawbima 2018-12-06

පන්නිපිටිය - හෂාන් පුෂ්පික

තම සාමාජිකයන් කුලී ගමනකින් අය කරන මුදලින් රුපියල් දහයක් අඩු නොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාකරනා බවට තර්ජනය කරමින් ජනතාව නොමඟ යවමින්, අස්ථාවර වූ රට තව දුරටත් අරාජික කිරීමට ත්‍රිරෝද රථ සංගමයක සභාපතිවරයකු යැයි කියාගන් පුද්ගලයකු මේ දිනවල ක්‍රියාකරමින් සිටින බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඉන්ධන ගාස්තු අඩු කිරීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුවෙන් රුපියල් 10ක් අඩු කිරීම සම්බන්ධයෙන් පවතින ජනමතය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ඊයේ (05දා) කෝට්ටේ නාග විහාරයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී රෝහණ පෙරේරා මහතා මෙසේද කීය.

අපි පසුගිය වසර දහය පුරා රුපියල් 40ක් 50ක් තමයි පළමු කිලෝමීටරයට අය කළේ. නමුත් සුනිල් ජයවර්ධන කියන කාඩ්බෝඩ් ත්‍රීවීල් සභාපතිවරයා එදා රුපියල් 60ක් 70ක් පළමු කිලෝමීටරයට අය කළා. මෙහෙම ජනතාව සූරා කාපු අය අද අපිට තර්ජනය කරමින් සිටිනවා. රුපියල් 10ක් අඩු කළේ නැත්නම් පාරිභෝගික අධිකාරියට හෝ අධිකරණයට යනවා කියලා. අපි ඔහුට කියනවා පුළුවන් තැනකට යන්න අපි රුපියල් 10 කිසිසේත්ම අඩු කරන්නේ නැහැ කියලා.

"මොකද පසුගිය දිනවල රුපියල් 20ක් ඉන්ධන මිලෙන් අඩු වුණත්, අපේ ත්‍රිරෝද රථවල අමතර කොටස්වලට අයකරන බදු මුදල් සත පහක්වත් අඩු වෙලා නෑ. ඒ නිසා අපි කොහොමද රුපියල් 10ක් අඩු කරන්නේ? ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ශත 80ක ලාභයක් තමයි ඉන්ධන මිල අඩුවීමෙන් අපිට ලැබෙන්නේ."

"සුනිල් ජයවර්ධන කියන පුද්ගලයා ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියැළෙන්නෙක් නොවෙයි. ඔහු යූඑන්පී ඉත්තෙක්. ඔහු මේ වෙලාවේ ජනතාව නොමඟ යවලා අස්ථාවර වූ රට තව දුරටත් අරාජික කිරීමට ගන්නා උත්සාහයක් හැටියටයි මේක අපි දකින්නේ."

"අපි පසුගිය අවුරුදු දහයටම රුපියල් 5ක් පමණයි වැඩි කළේ. නමුත් සුනිල් ජයවර්ධන ජනතාව සූරාකමින් ත්‍රීවීල් සේවාවෙන් මුදල් උපයා ගත්තා. අපේ අමතර කොටස්වල මිල අඩු කරනවා නම් අපේ කුලී ගාස්තුත් අඩු කරන්න සූදානම්. එහෙම නැතිව දේශපාලන වාසි ලබාගන්න එක එක අය කියන පළියට අපි නටන්න සූදානම් නෑ."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon