තරුණ කතකට ලිංගික අතවර කළ බව කියන වෛද්‍යවරයා ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හරී

  👤  796 readers have read this article !
By mawbima 2018-12-06

කුමුදු උපුල් ශාන්ත

අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත රැගෙන ගිය තරුණ කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව කියන එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා රුපියල් ලක්‍ෂයක් වටිනා ශරීර ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

ඉහත කී තරුණ කාන්තාවගේ සැමියා කළ පහරදීමක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත්ව ඇති බවත් පසුව අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර ඇති බව ද අනාවරණය කෙරිණි.

ජයවර්ධනපුර රෝහලේ හෙදියක් හා එකී කාන්තාවගේ මව ද ඇය සමඟ කළුබෝවිල රෝහල වෙත ගොස් ඇයව ඉහත කී අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කළ අවස්ථාවේ එකී වෛද්‍යවරයා තරුණ කාන්තාවගේ මවට හා හෙදියට එම පරීක්‍ෂණ කාමරය තුළට යෑමට ඉඩ නොදී පරීක්‍ෂණ කරන මුවාවෙන් ඇගේ අඟ පසඟ අතගා ඇයට ලිංගික අතවර කර ඇති බව ද අනාවරණය විය.

පසුව ඇය එම සිද්ධිය ජයවර්ධනපුර රෝහලේ පොලිස් මුරපොළට හා කොහුවල පොලිසියට දැනුම් දී ඇති බවද කොහුවල පොලිසිය එකී සිද්ධිය අධිකරණය වෙත යොමුකර අධිකරණයේ නියෝග මත නීතිපති උපදෙස් පතා ඇති බව ද වාර්තා විය.

එකී සිද්ධිය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා දී තිබූ උපදෙස් අනුව කොහුවල පොලිසිය සැකකාර වෛද්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම සිද්ධිය ඉකුත් 2016 වසරේ සිදුව ඇති අතර කොහුවල පොලිසියේ පොලිස් කොස්තාපල් දයාසිරි (33789) මහතා පැමිණිල්ල මෙහෙයවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon