ගොවියන්ගේ අමුඩ මන්ත්‍රිවරුන්ට අන්දවා මන්ත්‍රිලාගේ සුදු පිරුවට ගොවියන්ට අන්දවන්න ඕනෑ

  👤  735 readers have read this article !
By mawbima 2018-12-06

දඹුල්ල - කේ.කේ. ආරියදාස

ගොවියාගේ අමුඩය වර්තමාන පාර්ලිමේන්තු නියෝජනය කරන පිරිසට ලබාදී ඔවුන් අඳින සුදුපිරුවට ගොවියාට අන්දවා පාර්ලිමේන්තු යැවිය යුතු බව ගොවි පිරිසක් කියා සිටිති. වර්තමාන රටේ තත්ත්වය පිළිබඳව ගොවි ජනතාවගෙන් සිදුකළ විමසීමකදී ගොවීන් පිරිසක් මේ බව සඳහන් කළහ.

දඹුල්ල ගලේවෙල ප්‍රදේශයේ ගොවීන් ගොවිබිම්වලට ගොස් මෙම ගොවීන්ගෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව අපි විමසීමක් කළෙමු.

එහිදී බොහෝ ගොවීන් රට ගැන ඉතා ආදරයක් ඇතිව කතා කළ අතර රටේ සියලුම දේශපාලනඥයන් පිළිබඳව දැඩි පිළිකුලෙන් යුතුව කතා කිරීම විශේෂත්වයකි.

වයස අවුරුදු අසූ තුනක් වූ ගලේවෙල ප්‍රදේශයේ ගොවියකු වූ මැදගෙදර පටබැන්දා මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව හෝ දේශපාලනඥයන් පිළිබඳව කතා කිරීමට පවා අකැමැත්තක් දක්වන බවය.

එමෙන්ම වර්තමානයේ දේශපාලනඥයන් විසින් හෙට දවස රට භාරගන්න සිටින දරුවන්ගේ අනාගතය විනාශ කරන බවද හෙතෙම සඳහන් කළේය. තමන්ට වයස අවුරුදු 83ක් වෙද්දීත් මෙවැනි තත්ත්වයක් රටේ උද්ගතවී නැති බව පටබැන්දා ගොවි මහතා සඳහන් කළේය.

එමෙන්ම ගොවිපළවල දාඩිය මහන්සියෙන් වැඩ කරමින් සිටි ගොවීන් කීප දෙනකුගෙන් අප රට ගැන විමසීමේදී ඔවුන් කියා සිටියේ වෙන කිසිවක් නොව සිදුවන දේ පිළිබඳව බලා සිටීමට පමණක් සිදුව තිබෙන බවය. ජනතාවගේ හඬට සවන් නොදීම නිසා මේ තත්ත්වය උදාවී තිබෙන බවද තමන්ගේ හඬ ඉදිරිපත් කිරීමට අද රට තුළ ස්ථානයක් නොමැති බවද එම ගොවීහු කියා සිටින්නට වූහ. මේ අවස්ථාවේදී පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි පියදාස (66) ගොවි මහතා අපූරු කතාවක් කරන්නට වූයේය.

ඒ මහතා කියා සිටියේ රට ගැන හෝ දේශපාලනඥයන් පිළිබඳව කතා කොට කිසිදු පලක් නොමැති බවය. පාර්ලිමේන්තුවේ ඉන්න බුද්ධියක් නොමැති අය රට ගැන නොසිතන බවද හෙතෙම කීවේය.
එම නිසා රට කරවීමට ගොවීන්ට ශක්තියක් පවතින බවද සඳහන් කළේය. එම නිසා පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලනඥයන් අඳින සුදුපිරුවට ගොවීන්ට අන්දවා ගොවීන්ගේ අමුඩය ඔවුන්ට අන්දවා රට පාලනය කිරීම සඳහා සූදානම් විය යුතු බවද හෙතෙම කීවේය.

ගොවීන් වන තමන්ට රට ගැන කැක්කුමක් පවතින බවත් ලේ මස් නහර වැල් පවා ඒ බව පිළිබිඹු කරන බව හෙතෙම සිය සිරුර හිරු එළියට නිරාවරණය කරමින් පෙන්වීමද විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ එම්.ජී. පියදාස ගොවි මහතා මෙසේ අපූරු කතාවක් කළේය.

අනේ මහත්තයෝ රට ගැන නම් කතා කරන්න එපා. පේනවා නේද පාර්ලිමේන්තුවේ ඇතුළේ මුන්දලා ගහගන්න හැටි. ඒ ගැන කතා කරනවට වඩා හොඳයි නිකන් ඉන්න එක. අපේ වචන ටිකත් අපරාදෙ බුදු මහත්තයෝ.
මුන් රට කරනවා නෙවෙයි රට කාබාසිනියා කරනවා. අර උත්තරීතර පාර්ලිමේන්තුව හරක් මඩුවක් කරලා ඒකයි මේ අය ගැන කලකිරිලා තියෙන්නේ. අපි විතරක් නෙවෙයි මුළු රටම කලකිරිලා ඉන්නේ.

වර්තමානයේ දේශපාලනඥයන් කියන්නේ රට මී හරක් වගේ. ඔය මුන්දලට අඳින්න දීලා තියෙන සුදුපිරුවට අපිට දීලා අපේ අමුඩය උන්ට දෙන්න ඕන. මේ අයට රට හරක් කියන්නත් හොඳ නෑ පුන්නක්කු දෙන්න ඕන, උෟරු කෑම දෙන්න ඕන, එහෙම තමයි අපේ අදහස. මේ ඇමැතිකම් ගොවියන්ට දෙන්න කිසිම ගැටලුවක් නැතිව රට ලස්සනට කරයි. හොඳ බුද්ධිමත් උගත් ගොවියෝ ඉන්න මේ රටේ සියලුම අංශ දියුණු කරන්න පුළුවන් ගොවියාට.

අපි හොඳට තුන්වේල බත් කාලා ඉන්න ගොවියෝ. හැබැයි දේශපාලනඥයො කියන්නේ බත් කන උන් නෙවෙයි. රටේ මිනිස්සුන්ගේ සල්ලි කන උන්. අනුන්ගේ සල්ලි කාලා ලෙඩ වෙලා ඉන්නේ. අපි බලන්න මහත්තයෝ තාමත් අවුරුදු 66යි. යකඩ වගේ ඉන්නවා. ඒ තමයි අපේ නිරෝගීකම. ඒ නිසා අපි කිසිම ආකාරයකින් මුන්දලා අනුමත කරන්නේ නෑ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon