පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අධිකරණය මුළා කොට ඇති පෙත්සම් සියල්ල ගාස්තුවට යටත් කොට ඉවත දමන්න

  👤  775 readers have read this article !
By mawbima 2018-12-06

කමල් මහේන්ද්‍ර වීරරත්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්‍ෂ කිහිපයක් මුල් වී ඉදිරිපත් කොට ඇති පෙත්සම් මඟින් උත්සාහ කොට ඇත්තේ ශේ‍ර්ෂ්ඨාධිකරණය නොමඟ යවා විනිසුරුවරුන් මුළා කොට තම අරමුණු ඉටුකර ගැනීමට හොර පාරකින් පැමිණීමක් බවත් එබැවින් එම පෙත්සම් ගාස්තුවක් යටත්කොට ඉවත දැමිය යුතු බවත් නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ඊයේ (05දා) සප්ත පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම මඟින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ යැයි පවසමින් මෙම පෙත්සම් ගොනු කොට ඇත.

ඒවා ගොනු කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් එහි සභාපති කබීර් හෂීම් හා ලේකම් අකිල විරාජ් කාරියවසම්, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක ආර්. සම්පන්දන් හා එම්.ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මුස්ලිම් මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, මැතිවරණ කොමිසමේ එ.ජා.ප. නියෝජනය රත්නජීවන් හුල්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු යනාදින් විසිනි.

එකී පෙත්සම්වලට එරෙහිව කරුණු දැක්වීම සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය ජගත් වැලිවත්තගේ, වෛද්‍ය සිසිර සේන ද සිල්වා, නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාළවත්ත යනාදීන් විසින් මැදිහත්කාර පෙත්සම් ගොනුකොට ඇත.

අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් සියල්ල නොවැම්බර් මස 12 හා 13 යන දෙදින තුළ මූලිකව විමසුමට ලක්වූ අතර එකී පෙත්සම් විභාගයට ගැනීම ස¼දහා එම ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අවසර ලබා දෙමින් එසේම පෙත්සම් මඟින් ඉල්ලා සිටි අතුරු සහනයක් ද ලබා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හා මහ මැතිවරණයක් පැවැත්වීමේ ජනාධිපති නියෝගය ක්‍රියාත්මක වීම මේ මස 07 වැනි දින දක්වා අත්හිටුවමින් වාරණ නියෝගක් ද නිකුත් කරනු ලැබීය.

තවද එහිදී (ඉකුත් 13 වැනි දින) මෙම පෙත්සම් සියල්ල දෙසැම්බර් 04, 05 හා 06 යන දින 03 තුළ විභාග කොට අවසන් තීන්දුව ලබා දීමටද දින නියම කරනු ලැබීය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ එම තීරණය පිළිගත නොහැකි බවත් ඉන් සෑහීමකට පත් නොවන බවත් පවසමින් අගවිනිසුරුවරයා වෙත ඊට පසු දිනම (14දා) මෝසමක් ගොනු කළ මැදිහත්කාර පෙත්සම් පාර්ශ්වය ඉල්ලා සිටියේ මෙය ව්‍යවස්ථාව හා සම්බන්ධිත සුවිශේෂී කරුණක් මෙන්ම සමස්ත රට වැසියනටම සෘජුවම බරපතළ ලෙස බලපෑමක් සිදුකරන ජාතික ගැටලුවක් ද බැවින් මෙය සුවිශේෂ කරුණක් සේ සලකා පස් දෙනකුට නොඅඩු පූර්ණ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමට පියවර ගන්නා ලෙසය.

එකී ඉල්ලීම් පිළිගනිමින් පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ මෙම පෙත්සම් විභාගය සිදුකිරීමට අගවිනිසුරුවරයා තීරණය කොට ඇති බැව් "මව්බිම" 20 වැනිදා මුල් පිටුවේම පළවූ පුවතින් රටට හෙළි කරනු ලැබීය.
එහිදී පත්කරන ලද අගවිනිසුරු එච්.එන්.ජේ. පෙරේරා, විනිසුරුවන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් හා මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන්ද සැදුම් ලත් විනිශ්චය මණ්ඩලය හමුවේ දෙවැනි දිනටත් ඊයේ (05දා) පෙත්සම් විභාගය පැවැත්විණි.

එහිදී සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයා මෙසේද කියා සිටියේය.

මෙම පෙත්සම් ගොනු කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය ප්‍රකාරව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ අධිකරණය නොමඟ යවමිනුයි. මෙම පෙත්සම්කරුවන් සියලුම දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වුවද ඔවුන් මෙහිදී ඉදිරිපත්ව ඇත්තේ තමන් විසින් ක්‍රියා කළ යුතු නීත්‍යනුකූල ආකාරයෙන් බැහැරව යමින් අධිකරණයේ කනින් රිංගා යෑමට උත්සාහයක් දරමිනුයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් යම් වැරදි තීන්දුවක් හෝ වැරදි පියවරක් හෝ ගෙන ඇත්නම් ඔවුන්ට භාවිත කළ යුතුව ඇති නීති ප්‍රතිපාදනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවසථාවේ 38 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කථානායකවරයා මඟින් ශේ‍ර්ෂ්ඨාධිකරණයට එම කරුණු යොමුකරලීමයි.

එහෙත් ජනාධිපතිවරයාගේ තීරණයක් ගෙන ඇති ක්‍රියාමාර්ගයක් ඉතාමත්ම නිරවුල්ව හා නිවැරදිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට සැලසී ඇති නීති ප්‍රතිපාදන මත ගෙන ඇති බැවින් එයට අභියෝග කිරීමෙන් ඵලක් නොවන බව දන්නා නිසා ඔවුන් මේ පැමිණ ඇත්තේ "හොර පාරකින්" අධිකරණය නොමඟ යවා තම අරමුණු කූට ආකාරයෙන් ඉටුකර ගැනීමටයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් මහ මැතිවරණයක් කැඳවීමත් ඊළඟ පර්ලිමේන්තුව රැස්කිරීමත් යන හැම කරුණක්ම ඉතාමත් නිරවුල්ව ව්‍යවස්ථාවෙහි සලසා ඇති නීති ප්‍රතිපාදන අනුවම සිදුකොට තිබෙනවා.

33 (2), 60 (2) හා 70 (1) යන වගන්තීන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා පූර්ණ බලය පවරා තිබෙනවා.

33 (2) වගන්තියෙන් ප්‍රකාශ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනත් යම් ලිඛිත නීතියකින් ප්‍රකාශිතව ඇති බලතල ක්‍රියාත්මක කිරීමේ බලයට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද හිමිවන බවයි.
1978 ව්‍යවස්ථාවෙන් පමණක් නොව 1972 දී විධායක බලය රහිත ජනාධිපතිවරයකු සිටින අවස්ථාවේදී පවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් එය අහෝසි කොට ඇතැයි පෙත්සම්කරුවන් ප්‍රකාශ කර සිටියද එලෙස ක්‍රියාකිරීමට ව්‍යවස්ථා සම්පාදකයන් යත්න දරා ඇතත් ව්‍යවස්ථාවේ ඉතිරිව ඇති වගන්ති 02ක් මඟින් අවස්ථා දෙකකදීම ජනාධිපතිවරයාට ඇති බලය තහවුරුව තිබෙනවා.
70 වන වගන්තියට අදාළ අනු වගන්ති කිහිපයක් ඉවත්කිරීම මඟින් එම අරමුණු ඉටුකරගන්නට ක්‍රියාකොට ඇතත් එය ඉටුවී නැත්තේ 62(2) වගන්තිය නිසයි.

එහි නිරවුල්වම හා පැහැදිලිවම සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ සිට නියමිත කාලය නිමවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවත් ඊට පෙරද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත්.

මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමුකළ යුතු තැනක් තිබෙනවා. එනම් ජනාධිපතිවරයාට එම වගන්තියෙන් ලැබී ඇති බලය ක්‍රියාත්මක කොට ඇත්තේ කුමන අවස්ථාවකද කියා විමසිය යුතුයි.

ඔහු එය සිදුකොට ඇත්තේ පාර්ලිමේන්තුව අකර්මණ්‍ය වී ඇති අවස්ථාවකයි. එනම් පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන්කොට ඇති අවස්ථාවකදීයි. එවැනි අවස්ථාවකදී රටේ රාජ්‍ය නායකයා ලෙසත් විධායකයේත් ව්‍යවස්ථාදායකයේත් ප්‍රධානියා ලෙසත් රට තුළ උද්ගතවූ තත්ත්වයන් මත තවදුරටත් රට අස්ථාවර වීමටත් ජන ජීවිතය අඩාල වීමටත්, ආර්ථිකය කඩා වැටීමකටත් ඉඩ නොතබා කඩිනම් පියවර ගැනීමට ඔහු බැඳී සිටිනවා.
තවත් පැත්තකින් රාජ්‍ය නායකයා වන තමා ඝාතනය කිරීමේ සැලසුමක් ගැන බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයා දැනුවත් වීමක්ද මේ අතර සිදුවෙනවා.

එවැනි අවදානම් අවස්ථාවක පාර්ලිමේන්තුව යළි රැස්කොට සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීමක් කළ නොහැකි හෙයින් කළ හැකිව ඇත්තේ තමාට හිමි ව්‍යවස්ථානුකූල බලතල භාවිත කරමින් රටේත් රාජ්‍යයේත් රාජ්‍ය නායකයා වශයෙන් තමාගේත් ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි වඩාත් ඵලදායී පියවර ගැනීමයි.

ජනාධිපතිවරයා මෙහිදී සිදුකොට ඇත්තේ එම කාර්ය භාරයයි. ඒ සඳහා ඔහු භාවිත කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියේ 5 වන අනු වගන්තිය මඟින් එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමාහට හිමිවන 'අභිමතානුසාරී බලය' යි. (ඊඩඥ නධඹඥප ධට ඤඪඵජපඥබඪධද)
එබැවින් මෙම ව්‍යවස්ථාවටත් ශේ‍ර්ෂ්ඨාධිකරණ නීතිරීතිවලටත් පටහැනිව ඉදිරිපත්කොට ඇති පෙත්සම් සියල්ල ගාස්තුවටද යටත්කොට ඉවත දැමිය යුතුයි.

නොඑසේව ක්‍රියා කළහොත් රටේ උත්තරීතරම ආයතනය වන ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් රටේ මහජනතාවගේ "පරමාධිපත්‍ය බලය" වන සර්වජන ඡන්ද බලය අහිමි කිරීමේ පෙත්සම්කාර පාර්ශ්වයේ ක්‍රියාවට දායක වීමක් සිදුවෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon