පොලිසියට ‍ෙදාස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිට ඇප

  👤  2822 readers have read this article !
By mawbima 2018-12-06

අමිල අබේරත්න

තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට ආරක්ෂාව සහ රැකවරණ ලබාදීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (5දා) නියෝග කළේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව ඇප මත මුදාහරිමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා ඔහුට දැඩි ඇප කොන්දේසි පනවමින් ඇප මත සිටියදී සිද්ධියට අදාළ විමර්ශනයට, විමර්ශන නිලධාරීන්ට, සාක්ෂිකරුවන්ට සහ හමුදාවල සේවය කරන සාක්ෂිකරුවන් ඇතුළු විශේෂයෙන් සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වන ගලගමගේ ලක්සිරි යන අයට තනතුර යොදාගනිමින් බාධා කිරීමක්, බලපෑම් කිරීමක් හෝ තර්ජනය කිරීමක් සිදුනොකළ යුතු බවත් එසේ සිදු කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බවත් දැනුම් දුන්නේය.

ඊට අමතරව සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙන අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටත් කොටුව මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට ආරක්ෂාව හා රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම් කර ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇප දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාවක් නොදැක්වීමත්, සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන ගලගමගේ ලක්සිරි යන අයට මරණ තර්ජනය කිරීම, පැහැර ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිදු කර ඇති පැමිණිල්ලට අදාළව කොටුව පොලිසිය රවීන්ද්‍ර විජේගුණරත්න යන අය සැකකරුවකු ලෙස නම් කර නොතිබීමත් සඳහා මහෙස්ත්‍රාත්වරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව ඇප මත මුදාහරිනු ලැබිණි.

ඒ සම්බන්ධව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙතෙක් සිදු කළ විමර්ශනයන්ට අදාළව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සැකකරුවකු ලෙස නම් කළ නොහැකි බවත් ඉදිරි විමර්ශන අනුව සැකකරුවකු ලෙස නම් කරන්නේද නැද්ද යන්න තීරණය කළ හැකි බවය.

ඒ පිළිබඳව සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේ ඔහු සැකකරුවකු ලෙස නම් කරන්නේද නැද්ද යන්න පිළිබඳව කෙළින් උත්තරයක් දිය යුතු බව සහ කොටුව පොලිසිය මඟින් ඊට අදාළ විමර්ශනයන් නිසි අයුරින් සිදුනොකර ඇති බවය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සිද්ධියට අදාළ පැමිණිල්ලට අදාළව කොටුව පොලිසිය මඟින් වගඋත්තරකරුවකු ලෙස නම්කර තිබීම ප්‍රශ්නය ගත තත්ත්වයක් වී තිබෙන බවය.

එම පැමිණිල්ලට අදාළව නඩුව සම්බන්ධයෙන් විධිමත්ව කොටුව පොලිසිය කටයුතු නොකර ඇති බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ කිසිදු වරදක් සඳහන් නොකර ඇති බවත් දන්වා සිටි මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයන්ගෙන් කොටුව පොලිසිය ඉවත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ සම්බන්ධයෙන් සුදුසු නිලධාරියෙක් පත්කර එවන ලෙසට බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති ප්‍රකාශ අනුව චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට කිසි ලෙසකින් නාවික හමුදාවේ මුදල් නීත්‍යනුකූල නොවන පරිදි දී නොමැති බව සහ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාගේ හිඟ වැටුප් සම්බන්ධව පමණක් කටයුතු කර ඇති බවය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ හිටපු නාවික හමුදාපතිවරයා වන තමා ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චිව සමීපතමයකු ලෙස නොදන්නා බවත් සාක්ෂිකරුවකු වන ගලගමගේ ලක්සිරි නමැත්තා පිළිබඳව පෞද්ගලික අමනාපයක් හෝ වෙනත් කිසිදු කාරණයක් නොමැති බවද ගලගමගේ ලක්සිරි නමැත්තා තමා සමීපව හඳුනන කෙනෙක් නොවන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

හිටපු නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාව උදෑසන 10.30ට පමණ නඩුවට අදාළව අධිකරණයට බන්ධනාගාර බසයකින් රැගෙන ආ අතර රවින්ද්‍ර විජේගුණරත්න මහතාට අදාළ නඩු කටයුතු ඇරැඹීමේ වේලාව පැමිණෙන තුරු ඔහු බන්ධනාගාර බසයේම රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙන අයුරු දක්නට ලැබිණි.

ඒ අනුව උදෑසන 10.30 සිට සවස 2.10 පමණ වන තුරු හිටපු නාවික හමුදාපතිවරයා අධිකරණය තුළට රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ අතර පැය 4කට අධික කාලයක් ඔහු බන්ධනාගාර බස් රථයේම රඳවා සිටියේය.

හිටපු නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න මහතා ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (5දා) නියෝග කළේය.

නඩු කටයුතු ආරම්භ කරනු ලැබුවේ සවස 2.10ට පමණය. නඩුව ලබන වසරේ ජනවාරි 16 වැනිදා කැඳවීමට නියමිතය.

ඡායාරූප - උදේශ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon